Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා ඇමති ක්‍රිකට් ආයතනය විසුරුවයි

ක්‍රීඩා ඇමති ක්‍රිකට් ආයතනය විසුරුවයි

editorial - 2023 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(ශානුක අරවින්ද)

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 වගන්තිය යටතේ තමාට පැවරී ඇති බලතල අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් සභාව සංවිධානය කළ 2022 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාව මගින් හෙළිදරව් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු‍වේ  දූෂණ, විෂමාචාර, අක්‍රමිකතා, යුතුකම් සහ වගකීම් ඉටුකිරීම් පැහැර හැරීම් සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බැවින් තමා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයාගේ ගැසට් පත්‍රයේ සඳහන් වේ.

එම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ස්වාධීනව විනිවිදභාවයකින් යුතුව සහ විශ්වාසනීය ලෙස ඉටුකිරීමට අවකාශ සලසා දීම සඳහා තමා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවාලමින් මෙම අතුරු කමිටුව පත්කරන බවද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයක් පවත්වන තෙක් හෝ නැවත දැනුම් දෙන තුරු එහි කටයුතු පවත්වාගෙන යාම සඳහා මෙම අතුරු කමිටුව බලාත්මක වන බවද ගැසට් පත්‍රයේ වැඩි දුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති අර්ජුන රණතුංග මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම සත් සාමාජිත අතුරු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම්,  විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, එච්. කේ. උපාලි ධර්මදාස, නීතිඥ රකිත නිර්මල රාජපක්ෂ සහ එම්. එච්. ජමල්ඩීන් යන මහත්ම මහත්මීහු කටයුතු කරති.

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව මහජනතාව තුළ විශ්වාසය කඩවී ඇති බව පෙනීයන බැවින් සහ ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාව තුළ අපකීර්තියට පත්වීමට කරුණු යෙදී ඇති බැවින්, ඊට ප්‍රතිකර්ම සැලසීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා විධිමත් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීම මෙම අතුරු කමිටුවේ ප්‍රධාන වගකීම බවට පත්ව තිබේ.

අතුරු කමිටුවට පැවරී ඇති සෙසු වගකීම් සහ කාර්යයන්

1. විගණකාධිපති විසින් නිකුත් කරන ලද 2023.09.11 දිනැති විශේෂ විගණන වාර්තාවෙ හි සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට

අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කොට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම.

2. අදාළ විමර්ශන කටයුතු සිදු කිරීම ස්වාධීනව විනිවිදභාවයකින් යුතුව විශ්වාසනීය ලෙස සිදුකරනු ලැබිය යුතු බැවින්, ඒ සඳහා අවකාශය ලබාදෙනු වස්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවීම ක්‍රියාත්මකවන කාල පරිච්ඡේදය තුළ සහ අන්තර්වාර පාලන මණ්ඩලය විසින් සිදුකරන විමර්ෂණ කටයුතු අවසන් කොට ප්‍රතිකර්ම සලසන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් හි පරිපාලනය විධිමත්ව පවත්වාගෙන යාමට කටයුතු කිරීම.

3. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ යථෝක්ත විගණන වාර්තාවේ සඳහන් දූෂණ, විෂමාචාර සහ අක්‍රමිකතා නැවත සිදු වීම වැළැක්වීම සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සහ ක්‍රියාමාර්ග සැකසීම.


අදහස් (2)

ක්‍රීඩා ඇමති ක්‍රිකට් ආයතනය විසුරුවයි
  • මඩුගල්ල Monday, 06 November 2023 11:29 PM

    මැච් පරදින්නම ඕනේ මේ වෙනස කරන්න. හොරුන්ගෙන් මේ ක්‍රීඩාව මුදවා ගැනීමට කොන්දක් ඇති ඇමැතිතුමාට, අර්ජුන ප්‍රධාන පිරිසට හැකිවේවා...!

    Reply 0       0

    A SL Cricket Fan Tuesday, 07 November 2023 05:09 AM

    ශ්‍රී ලංකා ආදරණීය ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩා ඇමැතිතුමා දැක්වූ පියවර ගැන බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබේ අතුරු කමිටුව හරහා නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවිමට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.