Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා ඇමැති අන්තර්ජාතික උපදෙස් සොයයි

ක්‍රීඩා ඇමැති අන්තර්ජාතික උපදෙස් සොයයි

editorial - 2024 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


      
(නාමල් පතිරගේ)

ජාතික ඔලිම්පික් කමිටුවේ පැන නැගී තිබෙන පරිපාලන අර්බුදය විසදීම සදහා අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ උපදෙස් ලබා ගැනීමට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා තීරණය කර තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ නියෝජිතයන් සහ ක්‍රීඩා ඇමැතිවරයා අතර අද (16 වැනිදා) පෙරවරුවේ  ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවේදී එම තීරණයට පැමිණ තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහ එහි මහ ලේකම් මැක්ස්වෙල්  ද සිල්වා ඇතුළු එහි විධායක  සභාවේ නියෝජිතයන් සමග ක්‍රීඩා ඇමතිවරයා පැවැත්වූ සාකච්ඡාවට ක්‍රීඩා නියෝජ්‍ය  අමාත්‍ය සුගත් තිලකරත්න, යොවුන් කටයුතු ඇමැති එරංග ගුණසේකර, ක්‍රීඩා අමාත්‍යාංශයේ  ලේකම් අරුණ බන්ඩාර, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු එහි ඉහළ පෙලේ නිලධාරීහු පිරිසක්ද සභභාගි වූහ.

ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් පැන නැගී තිබෙන තත්වය පිළිබඳව සහ එහි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කර ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් ලබාදීමේ කාර්‍ය්‍යභාරය ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතා වෙත පැවැරීමට තීරණයවී තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ දැන් පැන නැගී තිබෙන පරිපාලන අර්බුදය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරමින් පසුගිය දෙසැම්බර් 10 වැනිදා සිට ශ්‍රී ලංකාවට ලබා දෙන අරමුදල් අත්හිටුවන බව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් සභාව නිවේදනය කළේය. ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව මෑතකදී  මතු කරන ලද ගැටළු කිහිපයක්, ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිසි ලෙස විසඳා ගැනීමට අපොහොසත්වී ඇති බවට චෝදනා කරමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවට අරමුදල් දීම අත් හිටුවන බව එහිදී නිවේදනය කර තිබුණි.

ක්‍රීඩා ඇමැතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී  ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට දැඩි ලෙස චෝදනා කරමින් අදහස් දැක්වූ බව වාර්තාවේ. ඊට පිළිතුරු දෙමින් මහ ලේකම්වරයා ඇතුළු විධායක සභිකයන් අදහස් දැක්වීමට යාමෙන් මෙම සාකච්ඡාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

ආචාර ධර්ම කමිටුව විසින් මහ ලේකම්වරයාට එරෙහිව නිර්දේශ ඉදිරිපත් කිරීමට තරම් වන විමර්ෂන වාර්තාවක් ගැන තමන් දැනුවත්වී නැතැයි එහිදී පැමිණ සිටි විධායක සභිකයන් පිරිසක් සාකාච්ඡාවේදී අදහස් දක්වමින් ක්‍රීඩා ඇමැතිවරයාට අවධාරණය කර තිබේ.  ඒ ආචාර ධර්ම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට උනන්දු නොවීමෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් අර්බුදකාරී තත්වය පැන නැගී ඇතැයි කියැවුණේ එහි සභාපතිවරයා දැක්වූ අදහස් වලට ප්‍රතිචාර දක්වමිණි.

මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවේ පැන නැගී තිබෙන වත්මන් අර්බුදයට විසදුමක් ලෙස 2025 මාර්තු 31 වැනිදාට පෙර එහි හදිසි නිලවරණයක් කැඳවීම සදහා  විශේෂ මහ සභා රැස්වීමේදී සාමාජිකයන්ගේ අනුමැතිය ලබා ගත් බවයි. ඒ අනුව ඉදිරියේදී කමිටුව කටයුතු කරන බව මහ ලේකම්වරයා ක්‍රීඩා ඇමැතිවරයාට පවසා තිබේ.

ඔලිම්පික් ප්‍රඥප්තිය අනුව  කිසියම් රටක ජාතික ඔලිම්පික් කමිටුවේ කටයුතු වලට තෙවැනි පාර්ශවයක මැදිහත්වීම අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රතික්ෂේප කරයි. එවැනි මැදිහත්වීමක් දේශපාලන අතපෙවීමක් ලෙස අර්ථකථනය වන්නේ නම් චෝදනා ලබන රටට සම්බාධක පැනවීමේ තත්වයක්ද පැන නැගිය හැකිය. එබැවින් ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් ක්‍රීඩා  ඇමැතිවරයාගේ මැදිහත්වීම් සිදු වන්නේ නම් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව එය දැඩි ලෙස නිරීක්ෂණය කරනු අඇතැයිද වාර්තාවේ.

මීට පෙර අවස්ථාවකදීත් ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවට කළ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන අතපෙවීම් පිළිබදව චෝදනා කරමින් එවකට (2013) ක්‍රීඩා ඇමැති ධූරය දැරූ මහින්දානන්ද අළුත්ගමගේ මහතා ලූසෑන් නුවර අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ මූලස්ථානයට කැදවමින් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ඔහුට හා ක්‍රීඩා අමාත්‍යාංශයට දැඩි සේ අවවාද කළේය. 


අදහස් (0)

ක්‍රීඩා ඇමැති අන්තර්ජාතික උපදෙස් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.