Last Update  :  2025-01-14 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා සංගම් 20 ක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලියයි
ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුදය

ක්‍රීඩා සංගම් 20 ක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලියයි

editorial - 2025 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් පසුගිය 10 වැනිදා ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් ලබා දුන් නියෝගයත් සමග ජාතික ක්‍රීඩා සංගම් 20 ක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ හා ආසියානු ඔලිම්පික් සභාවේ සභාපතිවරුන්ට සෙනසුරාදා (11) ලිපි යොමු කර තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ පැන නැගී තිබෙන වත්මන් අර්බුදයට වහාම මැදිහත්වන ලෙස ඉල්ලා එම ලිපි යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ දැන් පැන නැගී තිබෙන අර්බුදකාරී තත්වය විසදා ගනිමින් එහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ආරක්ෂා කර ගැනීම සඳහා එහි විධායක සභා රැස්වීමේදී හා විශේෂ මහ සහා රැස්වීමේදී ගත් තීරණ හා තීන්දු ක්‍රියාත්මක කිරීම සදහා ව්‍යවස්ථානූකූලව මැදිහත් වන ලෙස ලෙස ඉල්ලා එම ලිපිය යොමු කර තිබේ.

ප්‍රධාන කාරණා තුනක් පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු කර තිබේ. 

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම්වරයාගේ තහනම, එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීම හා කමිටුවේ සාමාජිකත්වයේ තුනෙන් දෙකක අනුමැතියෙන් ගත් තීරණ ක්‍රියාත්මක කිරීම යන කාරණා එහිදී  දැඩි ලෙස අවධානයට ලක්කර තිබේ.  මෙම ලිපියේ පිටපත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ හා ආසියානු ඔලිම්පික් සභාවේ සෙසු ප්‍රධානීන් ඇතුළුව ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාටත්  යොමු කර තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාරධර්ම කමිටුව විසින් මහ ලේකම්වරයාට එරෙහිව ක්‍රියාත්මක කිරීම සදහා නිර්දේශ කරන ලද වාර්තාව සම්බන්ධයෙන් පැන නැගුණු හා තවදුරටත් පැන නැගෙමින් තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන්ද ජාතික ක්‍රීඩා සංගම් ස්විට්සර්ලන්තයේ ලූසෑන් නුවර පිහිටි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට හා ආසියානු ඔලිම්පික් සභාවට යොමු කළ විශේෂ ලිපියෙන් කරුණු ගණනාවක් ගෙන හැර දක්වා තිබේ.

මේ අතර ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් පසුගිය සිකුරාදා ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ ක්‍රියාකාරකම්  අත්හිටුවීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ඔහු බදාදා (15) වන විට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සැළසුම් කර ඇතැයි වාර්තාවේ. ඇමැතිවරයාගේ නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයේ  නඩු පැවරීමට මැක්ස්වෙල් ද සිල්වා මහතා සැරසෙන බවද බවද වාර්තාවේ.

මැක්ස්වෙල් ද සිල්වා මහතා සිය ධූරයේ කටයුතු කිරීම මේ වන විට වළක්වා ඇති බැවින් මහ ලේකම් ධූරයේ වැඩ බැලීම සදහා සෙනසුරාදා (11) සිට උප ලේකම් චන්දන ලියනගේ මහතා පත් කර තිබේ. ලියනගේ මහතා පසුගිය වසරේදී පැවැති පැරිස් (2024) ඔලීම්පික් උලෙළට සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළේය. 

මහලේකම් වරයාගේ කටයුතු තහනම් කිරීමෙන්  පසුව සෙනසුරාදා ජාතික ඔලිම්පික් කමිටුවේ කාර්‍ය මණ්ඩලය කැදවූ එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා, කාර්ය මණ්ඩලය ඉදිරියේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් ලබාදී තිබේ.  මේ අතර ටොරින්ටන් පෙදෙසේ ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේ  පිහිටි මහලේකම්වරයාගේ කාර්‍යාල කාමරය පොලිස් පැමිණිල්ලක් මත මුද්‍රා තැබීමට ගත් උත්සහයක් ඇතැම්  නිලධාරීන්ගේ විරෝධය නිසා වැළකී ගිය බවද ඔලිම්පික් කමිටු ආරංචි මාර්ග සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් තත්වය සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යොමු කළ ලිපියට අත්සන් තැබූ ජාතික ක්‍රීඩා සංගම් 20 අතරට ශ්‍රී ලංකා පාපන්දු  ආයතනය, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ද ඇතුළුව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාතික ක්‍රීඩා සංගම් ගණනාවක්ද සිටිති. 

ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය ලබා සිටින  ක්‍රීඩා සංගම් ගණන  29 කි. එහි මීළග නිලවරණය 2025 මාර්තු 31 වැනිදාට පෙර පවත්වා අවසන් කිරීම සදහා මේ වන විටත් නිලවරණ මෙහෙයුම් කමිටුවද පත් කර තිබේ. එහෙත්  වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පවසන්නේ ව්‍යවස්ථානූකූලව ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණය පැවැත්වීම කළ හැක්කේ 2025 නොවැම්බර් මාසය අවසන් වීමෙන් පසුව පමණක් බවයි.


අදහස් (0)

ක්‍රීඩා සංගම් 20 ක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.