Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රොඒෂියාව අතීතය ප‍්‍රතිනිර්මාණය කිරීමේ වෑයමක

ක්‍රොඒෂියාව අතීතය ප‍්‍රතිනිර්මාණය කිරීමේ වෑයමක

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චිලී රාජ්‍යයේදී 1987 වසරේදී පැවැති අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ යොවුන් ලෝක කුසලාන ජයගත් කණ්ඩායම තරම් විශිෂ්ඨ තරුණ කණ්ඩායමක් ලෝකයේ තවත් නැත.

කුසලතාපූර්ණ යුගෝස්ලෝවියා කණ්ඩායමේ ක්‍රෝඒෂියා සාමාජිකයන් වන ඬේවෝ සකර්, සුවෝනිමිර් බොබාන්, රොබට් ප්‍රොසිනෙකි, රොබට් යානි සහ ඉජෝර් ස්ටිමැක් එදා වයස 20 න් පහළ ලෝක කුසලාන විජයග‍්‍රහණයේ නියමුවෝ වූහ.

කාණ්ඩ අදියරේදී තරග 3 කදී ගෝල 12 ක් වාර්තා කළ මෙම කණ්ඩායම තරගාවලියේදී විශ්මිත සහ විශිෂ්ඨ ආකාරයෙන් ක‍්‍රීඩා කළ අතර එය ලෝක තරුණ පාපන්දු ලෝක කුසලානයකදී වැඩිම ගෝල සංඛ්‍යාවට ලබාගත් කණ්ඩායම ලෙසින්ද ඉතිහාසයට එක්විය. පසුව මෙම ක්‍රෝඒෂියානු ක‍්‍රීඩකයෝ පාපන්දු ලෝකයේ තව තවත් ජයග‍්‍රහණ ලබාගත්හ.

1991 දී නිදහස දිනාගත් ක්‍රෝඒෂියාව 1993 වසරේදී අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සහ යුරෝපා පාපන්දු සංගමයේ සාමාජිකයකු බවට පත්විය. පළමු වරට ක්‍රෝඒෂියානු වර්ණවලින් සැරසී පාපන්දු තරගයකට සහභාගි වන ලෙසට ස්ටිමැක් ට ආරාධනාවක් ලැබුණු විටදී ඔහු පැවැසුවේ මෙවන් කතාවකි.

”යුගෝස්ලෝවියාවට තරග කරන කොට මට කිසිම හැඟීමක් දැනුනේ නැහැ. එතැන ක‍්‍රීඩාවට වඩා වැඩි යමක් තිබුණේත් නැහැ. ඒත් දැන් මට දැනෙන හැඟීම කිසිවක් හා සංසන්දනය කරන්න බෑ” යනුවෙනි.

මෙම තරුණ කණ්ඩායමට වසන්තය උදාවූයේ ගෝල පරතරයෙන් ඉතාලිය පරදා 4 වැනි කාණ්ඩයේ ජයග‍්‍රාහකයා ලෙසින් යූරෝ 96 තරගාවලියට සුදුසුකම් ලැබීමත් සමගය. තරගාවලියේදී ඔවුන් ලද එකම පරාජය අවසන් ජයග‍්‍රාහකයා වූ ජර්මනිය හමුවේ ලද පරාජය පමණකි. ඒ අර්ධ අවසන් පූර්ව වටයේදීය.

ක්‍රෝඒෂියානු කණ්ඩායමේ මෞලී මංගල්‍යය ලෙසින් හැඳින්විය හැක්කේ ප‍්‍රංශයේ පැවැති 1998 ලෝක කුසලාන තරගාවලියයි. නිදහස් රටක් ලෙසින් පළමු වරට පාපන්දු ලෝක කුසලානයකට සහභාගි වූ ක්‍රෝඒෂියාව අති විශිෂ්ට ආකාරයෙන් තරග වදිමින් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් විය.

ඬේවෝ සකර් ගේ මග පෙන්වීම යටතේ පෙරටම ගිය ක්‍රෝඒෂියාව තරග හතකදී ගෝල 6 ක් ලබාගත්තේ ජර්මනිය සහ නෙදර්ලන්තය වැනි පාපන්දු දැවැන්තයන් පරාජයට පත් කරමිනි. අවසන් පූර්ව වටයේදී අවසන් ජයග‍්‍රාහකයා වූ ප‍්‍රංශයට පරාජය වීමට පෙර සකර් ගෝල ලබාගත් එකම තරගයක් හෝ ක්‍රෝඒෂියාව පරාජයට පත්වූයේ නැත.

ලෝක කුසලාන තරගාවලියට පෙර අන්තර්ජාතික පාපන්දු සම්මේලන ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 125 වැනි ස්ථානයේ පසුවූ ක්‍රෝඒෂියාව තරගාවලියෙන් පසුව 3 වැනි ස්ථානයට පත්වූ අතර එය රටක් ෆිෆා ලැයිස්තුවේදී එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගිය වැඩිම දුර ලෙසින් ඉතිහාස ගත විය. එහෙත් 2002 සහ 2006 තරගාවලියේදී ලද අසාර්ථකත්වය හේතුවෙන් ක්‍රෝඒෂියාව අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත ලයිස්තුවේ පහළට ඇද වැටුණි.

තම කණ්ඩායමේ අතීත ශ්‍රී විභූතිය නැවත රැගෙන ඒම ඉතා අසීරු කාරණයක් වුවත් මැදපෙළ ක‍්‍රීඩක ලූකා මොඞ්රික් ගේ නායකත්වය යටතේ තරග වදින ක්‍රෝඒෂියාවට මෙවර තරගාවලියේදී පෙරළිකාරයන් වීමට අවස්ථාවක් ඇත.

 


දත්ත වාර්තාව
ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වන්නේ 4 වැනි වරටය
ඉහළම දක්ෂතාවය: 1998 වසරේදී තෙවැනි ස්ථානය
අන්තර්ජාතික පාපන්දු සම්මේලන ශ්‍රේණිගත කිරීම: 20

සංචිතය:
දැල රකින්නෝ: ස්ටිපේ ප්ලෙටිකෝසා, ඩැනිජෙල් සුබාසික්, ඔලිවර් සෙලෙනිකා
ආරක්ෂක ක‍්‍රීඩකයෝ: ඩාරිජෝ ස්ර්නා, ඩොමාගොජ් විඩා, සිමේ ව්සර්ල්ජ්කෝ, ඉවාන් ස්ටි‍්‍රනික්, ඩානිජෙල් ප‍්‍රැන්ජික්, වෙඞ්රාන් කොර්ලූකා, ඩෙජාන් ලෝව්රන්, ගෝර්ඩන් ස්චින්ඩෙන්ෆීල්ඞ්, ඉගෝර් බව්ජික්

මැදපෙළ ක‍්‍රීඩකයෝ: ලූකා මොඞ්රික්, ඉවාන් රැකිටික්, මාටියෝ කොවාකික්, නිකෝ කෙරාන්ජ්කාර්, මාර්සෙලෝ බ්‍රොසොවික්, ඔග්නිජෙන් වුකොජොවික්, මිලාන් බෙඩෙයිජි, ඉවාන් මොසිනික්, මාරියෝ පැසාලික්, සමීර්.

ඉදිරිපෙළ ක‍්‍රීඩකයෝ: මාරියෝ මැන්ඩසුකික්, නිකිකා ජෙලවික්, ඉවිකා ඔලික්, එඩුවාර්ඩෝ ඩා සිල්ව, ඩුජේ කොප්, ඉවෝ ඉලිසෙවික්, ඉවාන් පෙරිසික්, ඇන්ටේ රෙබික්

පුහුණුකරු: නිකෝ කොවැක්, සහාය පුහුණුකරු : රොබට් කොවැක්


අදහස් (0)

ක්‍රොඒෂියාව අතීතය ප‍්‍රතිනිර්මාණය කිරීමේ වෑයමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.