Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වත්කම් පරීක්‍ෂා කරයි

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වත්කම් පරීක්‍ෂා කරයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ වත්කම් පරීක්ෂා කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ගිවිසුම්ගත ක්‍රීඩකයන්ගේ වත්කම් වසරකට වරක් පරීක්ෂා කර බැලිය හැකි වන පරිදි නීති ගෙනඒම සඳහා කෙටුම්පතක් සකස් කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍යංශයේදී මාධ්‍යවේදීන් මුණගැසෙමින් ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පැවසීය.

මේ අතර ඇමැතිවරයා එහිදී පැවසුවේ එම ක්‍රියාදාමයට මේ වනවිටත් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ කැමැත්ත පළවී තිබෙන බවයි. ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව දූෂණ හා තරග පාවාදීමේ චෝදනා ගණනාවකට ලක්ව තිබෙන අවස්ථාවක ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වත්කම් හෙළි කිරීමට ඉදිරිපත්ව සිටීම සතුටට කාරණයක් බවයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා නිලධාරීන් පිරිසකට දූෂණ හා තරග පාවාදීමේ චෝදනා එල්ලවීමෙන් පසුව ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කර සිටියේ ඇතිවී තිබෙන බැරෑරුම් තත්ත්වය තේරුම් ගනිමින් ඉදිරියේදී ක්‍රිකට් දූෂණ මැඩලීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ දී අනුමත කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

 ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ වත්කම් ලබාගැනීම මෙම වසර අවසානය වනවිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ක්‍රීඩා ඇමැතිවරයා සිකුරාදා මාධ්‍යවේදීන් මුණගැසෙමින් පැවසීය. එහිදී ක්‍රීඩා ඇමතිවරයා මෙසේද පැවසීය. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් හා නිලධාරීන් පිරිසකට මේ වනවිට දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. නමුත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව මේ වනතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයකුට නම් සඳහන් කරමින් එවැනි චෝදනාවන් එල්ලකරලා නැහැ.

එහෙම තිබියදී අද සමාජ මාධ්‍ය ජාල හා කටකතා ඔස්සේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට විවිධ මඩ ප්‍රචාර එල්ලවෙමින් තිබෙනවා. ඒ පිළිබඳව අද රටේ ක්‍රිකට් පරිපාලනය මෙහෙයවන පාර්ශ්වය ලෙස ක්‍රීඩා අමාත්‍යංශය දැඩි කනස්සල්ලට පත්වෙලා තිබෙනවා.

මේ තත්ත්වය තේරුම් අරන් විශේෂයෙන්ම ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වත්කම් පිළිබඳව හෙළිදරව්වක් කරගන්න අප තීරණය කළා. දැන් අපිට ඒ වැඬේ වඩාත් පහසුවෙලා තිබෙනවා ක්‍රිකට් ක්‍රීඩකයනුත් ඒකට එකඟවෙලා ඉන්න නිසා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පසුගිය මැයි 31 වැනිදා පැවැත්වීමට නියමිතව තිබියදී අධිකරණයේ වාරණයක් හේතුවෙන් අත්හිටුවීමට සිදුවිය. එතැන් සිට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ නිසි බලධාරියා ලෙස කටයුතු කරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතාය.

මේ අතර ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා, ලේකම් කමල් පද්මසිරි, ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා, රජයේ සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන යන මහත්වරු හෙට (5) එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය. ඒ එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රියාත්මක දූෂණ මර්දන ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනයක නිරතවීම සඳහා බවද වාර්තා වේ.

 


අදහස් (0)

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වත්කම් පරීක්‍ෂා කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.