Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කාන්තා ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට
ආසියානු ක්‍රීඩා

කාන්තා ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට

editorial - 2023 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම ඉන්දීය කාන්තාවන් විසින් දිනාගන්නා ලදි. චීනයේ හංජෝ නුවරදී අද (25 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 116 කට සීමා කරන ලද නමුත් පිළිතුරු සොයා ගිය ශ්‍රී ලංකා කාන්තාවන්ට ඕවර 20 කදී ලබාගත හැකිවූයේ ලකුණු 97 ක් පමණි.
 
තරගයෙන් ලකුණු 19 ක ජයක් ලබාගත් ඉන්දීය කාන්තා කණ්ඩායම රන් පදක්කම දිනාගත් අතර ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිවිය.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු (12) අසාර්ථක වීම ශ්‍රී ලංකා පිලට බලවත් අවාසියක් විය. නායිකාව හැරුණු විට හසිනි පෙරේරා (25), නිලක්‍ෂි ද සිල්වා (23) සහ ඕෂධී රණසිං (19) තිදෙනා පමණක් ඉලක්කම් දෙකකින් කියවිය හැකි ලකුණු ලබාගත් බැවින් ශ්‍රී ලංකා කාන්තාවන්ට ලකුණු 100 කඩයිම පසුකළ නොහැකි විය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදීම එය දෙදරා යැවූ වේග පන්දු යවන්නී, ටිටාස් සධූ, සිය පළමු ඕවර තුනේදී ලකුණු 03 කට කඩුලු 3 ක් දවාගනිමින් මුලු ලකුණු සංඛ්‍යාව 14 ක්ව තිබියදීම ශ්‍රී ලංකා නායිකාව ආපසු ක්‍රීඩාගාරයට යැවූවාය. සිය දෙවැනි විස්සයි-20 අන්තර්ජාතික තරගයට ක්‍රීඩා කළ ටිටාස්ගේ අවසන් පන්දු යැවීම සටහන් වූයේ 4-1-06-3 ක් ලෙසිනි. සධූ සහ රාජේශ්වරී ගයික්වාඩ් (20/2) එක්ව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තු විනාශ කළහ.

කාසියේ වාසිය දිනා, පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් ඉන්දීය කාන්තා පිල වෙනුවෙන් ආරම්භක පිතිකාරිනි ස්මිත්‍රි මන්දනා ලකුණු 49 ක් ලබාගත්තාය. එහෙත් ඕවර 20 ක් නිමාවේදී ඉන්දීය ක්‍රීඩිකාවන්ට කඩුලු 7 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 116 කි.

කාන්තා වි-20 අන්තර්ජාතික තරග 61 ක අත්දැකීම් ඇති ශෆාලි වර්මා ලකුණු 09 කට දැවී ගියද මන්දනා සමගින් එක්වූ ජෙමීමා රොඩි්‍රගුවස් (42) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක් එක් කළහ. මේ අතරවාරයේදී, ඉනෝකා රණවීර වේගය අඩාළ කරමින් යැවූ පන්දුවක් මිඩ් විකට් කලාපයට ඉහළින් යැවීමට මන්දනා උත්සාහ කළාය. තණතීරුවේ තිබූ මන්දගාමීබව නිසාත්, ඉනෝකා පන්දුුව යැවීමේදී අඩාළ කරන ලද වේගයත් හේතුවෙන් මන්දනාගේ පහර පිළිගැනීමට පන්දුව පමා විය. ප්‍රතිඵලය වූයේ පිත්තේ කොණක වැදුණු පන්දුව මඳක් ඉහළ ගොස් ෂෝට් ෆයින් ලෙග් ස්ථානයේ පන්දු රකිමින් සිටි උදේශිකා ප්‍රබෝධනීගේ දෑත් අතර සැඟව යාමයි.

පන්දු 40 කට මුහුණ දුන් මන්දනා ඒවායින් 5 ක් ම හතරේ සීමාවට යැවූවාය. අර්ධ ශතකය පෙනි පෙනී මන්දනා දැවී ගිය අතර ජෙමීමා රොඩ්්‍රගුවස් ඉනිමේ බර කරට ගත්තාය.

ඉන්දීය කාන්තාවන් 17 වැනි ඕවරය නිමාවේදී කඩුලු 3 ක් දැවී ලකුණු 103 ක් ලබා සිටි නමුත් ලකුණු වේගය ප්‍රමාණවත් නොවන බව දත් මැද පෙළ පිතිකාරිණියෝ ලකුණු වේගය වැඩි කිරීමට උත්සාහ කළහ. එහෙත් සුගන්ධිකා කුමාරි (30/2) සහ උදේශිකා ප්‍රබෝධනී (16/2) හමුවේ ඉන්දීය පිතිකාරිණියෝ, අවසන් ඕවර තුනේදී කඩුලු 4 ක් අහිමිකර ගත්හ.

වමතින් දඟ පන්දු යවන්නී, ඉනෝකා රණවීර සිය ඕවර 4 ලකුණු 21 කට සීමාකරගනිමින් සාර්ථක පන්දු යැවීමක යෙදුණාය. ඉන්දීය පිතිකාරිණියන්, සුගන්ධිකා කුමාරිගේ පළමු ඕවර 3 න් ලකුණු 27 ක් ලබා සිටි නමුත් පූජා වස්ත්‍රකාර් දැවීගිය සුගන්ධිකාගේ අවසන් ඕවරයේදී ලබාගත හැකිවූයේ ලකුණු 03 කි.

 

- 213


අදහස් (0)

කාන්තා ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.