Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කි. මී. 1333 ක බයිකතන් සවාරිය 29 දා සිට

කි. මී. 1333 ක බයිකතන් සවාරිය 29 දා සිට

editorial - 2023 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

සියදිවි නසාගැනීම් වළක්වා ජීවිතය ජයගැනීමට තිබෙන අවස්ථා වැඩිකරලීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන ‘බයිකතන්’ පාපැදි සවාරිය ලබන අඟහරුවාදා (29 වැනිදා) හිමිදිරි උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය අසළින් ආරම්භ කෙරේ.  මුල් දිනයේදීම කිලෝ මීටර 87 ක දුරක් ගෙවමින් එය හලාවතින් අවසන් කෙරේ.

තමන්ගේ කිසියම් වූ ප්‍රශ්නයක් හෝ ගැටළුවක් නිසා සියදිවි නසාගැනීමේ සිතිවිලි පහළ වේ නම්, ඔවුන්ගේ ප්‍රශ්න සහ ගැටළු වලට සවන්දීම සඳහාම වෙන්කෙරුණු 1333 අංකය, අමතන ලෙස සී.සී.සී. පදනම ඉල්ලා සිටී. මෙම 1333 අංකය, ඕනෑම දුරකතනයකින්, ගාස්තු ගෙවීමකින් තොරව ඇමතිය හැකි අංකයකි. ඔවුන්ගේ ප්‍රශ්න සහ ගැටළු සඳහා සවන් දෙමින්, ජිවිතය නැතිකර ගැනීමට නොව, ජීවිතය ජයගැනීමට උපකාර වියහැකි විසඳුම් ඉදිරිපත් කිරීමට විශේෂයෙන්ම පුරුදු පුහුණු කරවන ලද කාර්ය මණ්ඩලයක් විසිහතර පැයේම ඒ වෙනුවෙන් ඇප කැපවී සිටී.

මෙම තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ‘බයිකතන්’ පාපැදි සවාරිය පැවත්වෙයි. දුරකතන අංකය වඩාත් තහවුරු වන පරිදි පාපැදි සවාරියේ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර 1333 කි. ඒ සඳහා දේශීය මෙන්ම විදේශීය පාපැදි කරුවෝ 20 දෙනෙක් 29 වැනිදා උදෑසන 5.00 ට කොළඹ නිදහස් චතුරස්‍රය අසළින් ගමන් අරඹති.
 
විල්පත්තුව සහ යාල අභය භූමි මඟහරිමින්, ශ්‍රී ලංකාව වටා පැවැත්වෙන පාපැදි සවාරියට දින 13 ක් ගතවෙයි. කොළඹ සිට හලාවත, අනුරාධපුර, කිලිනොච්චිය, යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, පාසිකුඩා, ආරුගම්බේ, වැල්ලවාය, තංගල්ල, ගාල්ල සහ කළුතර හරහා පාපැදි සවාරියේ ගමන් මග වැටී තිබේ. සියදිවි නසාගැනීම් වැළැක්වීමේ අන්තර්ජාතික දිනය වන සැප්තැම්බර් 10 වැනිදා පස්වරුවේදී කොළඹ නිදහස් චතුරස්‍රය අසළින් පාපැදි සවාරිය අවසන් වේ.

මෙය පාපැදි සවාරියක් විනා පාපැදි තරගයක් නොවේ.

ශ්‍රී ලාංකිකයෝ මෙන්ම ජර්මනියේ, සිංගප්පූරුවේ සහ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන විදේශීය පාපැදිකරුවෝත් ඊට සහභාගි වන්නේ නිදහසේ පාපැදිය පැද යමින්, විවේක ගනිමින්, ඒ අතරවාරයේදී එක් එක් ගම් දනව්වල ගැමියන් හා කතාබහ කරමින්, 1333 අංකය සහ එයින් කෙරෙන කාර්යභාරය සම්බන්ධයෙන් ද දැනුවත් කරමිනි. එබැවින් මෙවර බයිකතන්’ පාපැදි සවාරිය නම්කර ඇත්තේ “අඳුරෙන් එළියට” යනුවෙනි.

සී.සී.සී. පදනම විසින් පවත්වාගෙන යනු ලබන මෙම උපදේශන සේවාව ආරම්භ වූ 2014 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් සීඝ්‍රයෙන් පහත වැටී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලින් පෙන්වා දෙයි. සියදිවි හානිකරගැනීම් වලින් මියයන සෑම පුද්ගලයකුටම සාපේක්‍ෂව සියදිවි නසාගැනීම සඳහා අසාර්ථක උත්සායහන් ගන්නා 30 දෙනෙක් සිටින බව සංඛ්‍යාත්මක දත්ත වලින් වාර්තා වේ. එහෙත් සී.සී.සී. පදනමේ උත්සාහය වන්නේ සියදිවි නසාගැනීමට උත්සාහ කරන තැනැත්තා අබිමුව ඇති අපවාදයට හෝ අපහසුතාවට ධෛර්ය සම්පන්නව මුහුණ දීමට ඔහු හෝ ඇය සූදානම් කරමින්, එවන් අවස්ථාවලින් හැකිතරම් පිරිසක් මුදාගැනීමයි.

‘බයිකතන්’ පාපැදි සවාරියේ අරමුණ එයයි.

 

බයිකතන් සවාරිය සඳහා රන් අනුග්‍රහය දරන අලියාන්ස් සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන බෙදාහැරීමේ නිලධාරී රංග ඩයස් මහතා විසින් අනුග්‍රාහක සංඛේතය සී.සී.සී. පදනමේ සභාපති සුරේෂ් මෙන්ඩිස් මහතාට පිරිනමන ලද අවස්ථාව

 

2023 බයිකතන් පාපැදි සවාරියට සහභාගි වන්නෝ

 


අදහස් (0)

කි. මී. 1333 ක බයිකතන් සවාරිය 29 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.