Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසල්ගේ ප්‍රවේගකාරී ඉනිම අපතේ යයි
පෙරහුරු තරග

කුසල්ගේ ප්‍රවේගකාරී ඉනිම අපතේ යයි

editorial - 2023 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර ඉන්දියාවේ ගුවහටි නුවරදී අද (3 වැනිදා) පැවැති ලෝක කුසලාන පෙරහුරු තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව 6 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය. වර්ෂාව හේතුවෙන් ඇෆ්ඝනිස්ථානයේ ජයග්‍රාහී ඉලක්කය ඕවර 42 කදී ලකුණු 257 ක් බවට පත්වූ අතර ඕවර 38.1 ක් අවසානයේ එය සපුරාගත් ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ. 
 
ලකුණු 19 දී ඇෆ්ඝනිස්ථාන ඉනිමේ පළමු කඩුල්ල බිඳ වැටුණද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 152 කදී ලකුණු 212 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූ රහ්මනුල්ලා ගුර්බාස් (119) සහ රාමට් ෂා (93) සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දමමින් 32 වැනි ඕවරය අවසානයේ පිටියෙන් ඉවත්ව ගියහ. 
 
පන්දු 92 කට මුහුණදුන් ගුර්බාස් හයේ පහර 9 කින් සහ හතරේ පහර 8 කින් සිය ශතකය සැරසූ අතර පන්දු 82 කදී වාර්තා වූ රාමට් ෂාගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 10 කින් සමන්විත විය. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කුසල් මෙන්ඩිස් පන්දු යැවීම සඳහා ක්‍රීඩකයන් 7 දෙනෙක් යොදාගත්තද, ඔවුන් අතරින් කඩුලු දවාගැනීමට සමත් වූයේ කසුන් රාජිත සහ ළහිරු කුමාර පමණි. 
 
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 46.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 294 ක් ලබාගත්තේය. එහිදී ප්‍රවේගකාරී පිතිහඹයක නිරත වෙමින් ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ලෙස පහර පිට පහර එල්ල කළ කුසල් මෙන්ඩිස්, පන්දු 87 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 19 ක් සමග ලකුණු 158 ක් ලබා සිටියදී සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව සලසා දෙමින් පිටියෙන් ඉවත්ව ගියේය. 
 
ලකුණු 82 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී සදීර සමරවික්‍රම (39) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 131 කදී ලකුණු 175 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමටද කුසල් සමත් විය. එහිදී පන්දු 54 කට මුහුණදුන් සදීර, හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසුවේය. කෙසේ වුවත් කුසල් පිටියෙන් ඉවත්ව යෑමෙන් ශ්‍රී ලංකා ඉනිමේ කඩාවැටීම ආරම්භ වූ අතර සදීරද තවත් ඕවර 4 ක් ඇතුළත රෂීඩ් ඛාන්ගේ ගොදුරක් බවට පත්විය. පිට පිටම යවන ලද පා දඟ පන්දු දෙකකට පසුව රෂීඩ් යැවූ ගුග්ලි පන්දුව හමුවේ සදීර මුළුමුනින්ම පරාජයට පත්විය. 
 
එතැන් පටන් ලකුණු 37 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 6 ම බිඳවැටුණ අතර එහිදී ලකුණු 15 සීමාව ඉක්මවා යෑමට සමත් වූයේ ධනංජය ද සිල්වා පමණි. පන්දු 31 කට මුහුණදුන් ඔහු හතරේ පහර 2 ක් සමග ලකුණු 22 ක් රැස්කළේය. 
 
මුලු ලකුණු සංඛ්‍යාව 30 ක්ව තිබියදී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී ගිය අතර මුජිබුර් රහමන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක රහ්මනුල්ලා ගුර්බාස් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට ඔහු ලබා සිටියේ ලකුණු 8 ක් පමණි. දෙවැනි කඩුල්ල වෙනුවෙන් කුසල් සමග එක්ව පන්දු 43 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගූ පැතුම් නිස්සංක (30) දැවී ගියේ අබ්දුල් රහමන්ගේ පන්දුවක් හමුවේ නූර් අහමඩ් අතට උඩ පන්දුවක් දෙමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය. 
 
ශ්‍රී ලංකාව 
පැතුම් නිස්සංක - ඇ.නූර් ප.අබ්දුල් 30
දිමුත් කරුණාරත්න - ඇ.ගුර්බාස් ප.මුජීබුර් 8
කුසල් මෙන්ඩිස් - පිටියෙන් ඉවත්ව ගියා 158
සදීර සමරවික්‍රම - ඇ.රෂීඩ් 39
චරිත් අසලංක - ඇ.ඊබ්‍රහිම් ප.නබී 12
ධනංජය ද සිල්වා - ඇ.රෂීඩ් ප.නවීන් 22
දුනිත් වෙල්ලාලගේ - ඇ.රාමට් ෂා ප.නබී 0
දුෂාන් හේමන්ත - ප.නබී 5
ළහිරු කුමාර - ඇ.රෂීඩ් ප.නබී 1
කසුන් රාජිත - ප.ෆරූකි 1
දිල්ෂාන් මධුෂංක - නොදැවී 0
අතිරේක 18
එකතුව ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 294
 
කඩුලු වැටීම : 
1-30(දිමුත්), 2-82(පැතුම්), 3-257(සදීර), 4-271(චරිත්), 5-271(දුනිත්), 6-282(දුෂාන්), 7-290(ළහිරු), 8-294(ධනංජය), 9-294(කසුන්) 
 
පන්දු යැවීම : 
ෆසාල්හක් ෆකූරි 6.2-1-27-1, මුජිබුර් රහමන් 7-1-25-1, නවීන් උල්හක් 7-0-41-1, අස්මතුල්ලා ඔමර්සායි 3-0-40-0, අබ්දුල් රහමන් 4-0-39-1, නූර් අහමඩ් 4-0-26-0, රෂීඩ් ඛාන් 7-0-42-1, මොහොමඩ් නබී 8-044-4  
 
ඇෆ්ඝනිස්ථානය 
 
රහ්මනුල්ලා ගුර්බාස් - පිටියෙන් ඉවත්ව ගියා 119
ඊබ්‍රහීම් සද්‍රාන් - ඇ.ධනංජය ප.රාජිත 7
රාමට් ෂා - පිටියෙන් ඉවත්ව ගියා 93
මොහොමඩ් නබී - ඇ.මෙන්ඩිස් ප.ළහිරු 1
නජිබුල්ලා සද්‍රාන් - නොදැවී 15
අස්මතුල්ලා ඔමර්සායි - නොදැවී 14
අතිරේක 12
එකතුව ඕවර 38.1 කදී කඩුලු 4 ක් දැවී 261
 
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
හෂ්මතුල්ලා ශහිදි, රෂීඩ් ඛාන්, ඉක්‍රම් අලිඛිල්, නවීන් උල්හක්, මුජිබුර් රහමන්, අබ්දුල් රහමන්, රියාස් හසන්, ෆසාල්හක් ෆරූකි සහ නූර් අහමඩ් 
 
කඩුලු වැටීම : 
1-19 (ඊබ්‍රහීම්), 2-234(නබී) 
 
පන්දු යැවීම :
කසුන් රාජිත 7-3-18-1, දිල්ෂාන් මධුෂංක 7-0-38-0, ළහිරු කුමාර 6-0-58-1, දුනිත් වෙල්ලාලගේ 8-0-61-0, ධනංජය ද සිල්වා 3-0-15-0, දුෂාන් හේමන්ත 6.1-0-58-0, චරිත් අසලංක 1-0-06-0 
 

අදහස් (0)

කුසල්ගේ ප්‍රවේගකාරී ඉනිම අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.