Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(චම්පික ප්‍රනාන්දු)
වසර දෙකකට වැඩි කාලයකට පසුව, කුසල් ජනිත් පෙරේරා නැවතත් එක්දින කණ්ඩායමට එක්වී තිබේ. තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ආසියානු කුසලාන සංචිතයට ඔහු නම් කර තිබේ. කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් සහ චාමික කරුණාරත්නට මෙම 15 දෙනා අතරේ ස්ථානයක් හිමිවී නැත.
ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම්කරන ලද ශ්‍රී ලංකා සංචිතයට වමතින් දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේත් ඇතුළත්ව සිටී. ඔහු මේ වසර මුලදී ඉන්දියාවට එරෙහිව පැවැති තරගාවලියේ තරග 3 ක් ක්‍රීඩා කළ නමුත් එහිදී ඔහුට කඩුලු දවාගත නොහැකි විය.
පසුගිය මාසයේ පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී නෙදර්ලන්තයට එරෙහිව සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයේදීම අර්ධ ශතකයක් ලබාගත් සහන් ආරච්චිගේ අතිරේක ක්‍රීඩකයන්ගේ ලයිස්තුවට ඇතුළත් වී සිටී. අවිශ්ක ප්‍රනාන්දු, කසුන් රාජිත, දුෂාන් හේමන්ත සහ චාමික කරුණාරත්න අතිරේක ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති.
දිමුත් කරුණාරත්න සහ පැතුම් නිශ්ශංක හොඳ සබඳතා ගොඩනැංවීම නිසා කුසල් ජනිත්ට එක එල්ලේම සිය සුපුරුදු ස්ථානයට පැමිණීම තරමක් අසීරු වනු ඇත. එහෙත් ඔහු කඩුලු රකින්නා වන බැවින් කණ්ඩායමේ 11 දෙනා අතර ස්ථානයක් සොයා ගැනීම අපහසු නොවේ.
ලෝක කුසලාන තරගාවලියට පෙර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙදෙනකු කණ්ඩායමට තෝරා ගන්නා ලෙස තේරීම් කමිටුවට දැනුම් තිබූ බැවින් කුසල් පෙරේරාගේ ඇතුළත් කිරීම පුදුමයක් නොවේ. උරහිසේ ආබාධයකට ලක්ව සිටි බැවින්, ඔහු පසුගිය වසර දෙක තුළ එතරම් ක්‍රිකට් තරගවලට සහභාගි නොවූවද, කුසල් ජනිත් පෙරේරා යනු නිසැක වශයෙන්ම තරග දිනවන්නෙකි.
ශ්‍රී ලංකාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් මෙම වසරේ එක්දින කණ්ඩායමේ සාමාජිකයෙකු වීමට නියමිතව සිටියේය. වසර දෙකකට පසුව නවසීලන්ත සංචාරයේදී මැතිව්ස් නැවතත් එක්දින කණ්ඩායමට ඇතුළත් වූ නමුත් එතැන් සිට ඔහුගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 18, 0 සහ 12 ලෙසිනි.
කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, සධීර සමරවික්‍රම සහ දසුන් ශානක වැනි ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු පිතිකරුවෝ නොවෙනස්ව සිටිති. ශානක ඔහුගේම දස්කම් ගැන සැලකිලිමත් වියයුතු වුවද කණ්ඩායම දිගටම මෙහෙයවනු ඇත.
මේ වසරේදී දසුන් ශානකගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 18.54 ක් වන අතර, ඔහු තරග 16 කදී ලකුණු 204 ක් පමණක් ලබාගෙන ඇත. මෙම ලකුණු 204 ට, ඔහුගේ එක්දින තරග ජීවිතයේ හොඳම දස්කම වන ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 108 ක් ලබාගැනීමත් ඇතුළත් වෙයි. එය නොවන්නට, දසුන්ගේ ලකුණු රැස්කිරීම තරග 15 කින් ලකුණු 96 කි.
මතීෂ පතිරණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක සහ ලහිරු කුමාර යන සිව්දෙනා වේග පන්දු ඒකකය නිර්මාණය කරති. දුෂ්මන්ත චමීර සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සිම්බාබ්වේ බලා ගියද පාදයේ මාංශ පේශි ආබාධයක් හේතුවෙන් එක තරඟයක්වත් ක්‍රීඩා නොකළේය.
ඔහු වෙනුවට ආදේශ කළ වමත් වේග පන්දු යවන්නා වන ඩිල්ෂාන් මධුශංඛ ඉතා හොඳින් දස්කම් දැක්වූ අතර ඔහුට ආසියානු කුසලාන තරගාවලියේ ස්ථානයක් හිමිව තිබේ. දුනිත් වෙල්ලාලගේ නැවතත් කණ්ඩායමට කැඳවා තිබෙන අතර, වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ දෙදෙනාගේ තෝරාගැනීම විස්මයක් නොවේ.
තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය සඳහා යොමුකර තිබේ.
ආසියානු කුසලාන තරගාවලිය මේ මස 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී මෙන්ම පාකිස්තානයේදීත් පැවැත්වෙයි. පාකිස්තානයේදී තරග 4 ක් පැවැත්වෙන අතර තරග 13 ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය මේ මස 31 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පල්ලෙකැළේදී පැවැත්වීමට නියමිතය.
ආසියානු කුසලාන තරගාවලිය සඳහා සංචිතය
දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක සහ මතීෂ පතිරණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.