Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කෙවින්ගේ ශතකයෙන් අයර්ලන්තය ඉදිරියට

කෙවින්ගේ ශතකයෙන් අයර්ලන්තය ඉදිරියට

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෙවින් ඕ’බ්‍රයන්ගේ මංගල ටෙස්ට් ශතකය හමුවේ පාකිස්තානයට එරෙහිව ඩබ්ලින්හිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (14 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි අයර්ලන්ත කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 319 ක් ලබා සිටියේය.

ඒ අනුව අයර්ලන්ත කණ්ඩායම තවත් කඩුලු 3 ක් අතැතිව පාකිස්තාන කණ්ඩායමට වඩා ලකුණු 139 ක් ඉදිරියෙන් සිටියි. සිවුවැනි දිනය අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටි කෙවින් ඕ’බ්‍රයන් ලකුණු 118 ක්ද, ටිරෝන් කේන් ලකුණු 8 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

තෙවැනි දිනය වූ ඊයේ (13 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 64 ක් ලබා සිටි අයර්ලන්ත ක්‍රීඩකයෝ අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 255 ක් එක්කර ගත්හ. එහිදී අයර්ලන්ත ක්‍රීඩකයකු ලබාගත් මංගල ශතකයට හිමිකම් කීමට කෙවින් ඕ’බ්‍රයන් සමත් වූ අතර ඊට හතරේ පහර 12 ක් ඇතුළත් විය.

ලකුණු 157 කට කඩුලු 6 ක් බිඳවැටී අසීරූ තත්වයකට මුහුණ පා සිටි අයර්ලන්ත කණ්ඩායම එම තත්වයෙන් මුදවාගත් කෙවින්, හත්වැනි කඩුල්ල වෙනුවෙන් ස්ටුවට් තොම්සන් (53) සමග එක්ව ලකුණු 114 ක සම්බන්ධතාවක්ද, අටවැනි කඩුල්ල වෙනුවෙන් ටිරෝන් කේන් (නොදැවී 8) සමග එක්ව ලකුණු 48 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.

ඉනිමේ අටවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ස්ටුවට් තොම්සන් ටෙස්ට් අර්ධ ශතකයක් ලබාගත් දෙවැනි අයර්ලන්ත පිතිකරුවා බවට පත් විය. හතරේ පහර 6 ක් සමගින් අර්ධ ශතකය සම්පූර්ණ කළ ඔහු, ශඩාබ් ඛාන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන් පිටියෙන් ඉවත්ව ගියේය. එම දැවී යෑමත් සමග ඔහු සහ කෙවින් ඕ’බ්‍රයන් අතර පැවැති හත්වැනි කඩුල්ලේ සම්බන්ධතාවද නිමාවට පත්විය.

ආරම්භක පිතිකරුවන් වූ එඞ් ජෝයිස් (43) සහ නායක විලියම් පොටර්ෆීල්ඞ් (32) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර අර්ධ ශතකය පෙනි පෙනී සිටයදී එඞ් ජෝයිස් දුවද්දී දවාගැනීමකට හසුකරගත් ෆාහිම් අෂ්රෆ් එම සම්බන්ධතාවට තිත තැබීය.

නායක සර්ෆරාස් අහමඞ්ගේ සහායද ඇතිව විලියම් පොටර්ෆීල්ඞ් දවාගත් මොහොමඞ් අමීර්, ඉන් නොනැවතී නීල් ඕ’බ්‍රයන් (18) සහ ගැරී විල්සන්ද (12) පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. ඇන්ඩෘ බැල්බරින්ට (0) සහ පෝල් ස්ටාර්ලින්ටද (11) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාවක් නොලැබුණ අතර මොහොමඞ් අබ්බාස්ගේ
පන්දු හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ඔවුහු පිටියෙන් ඉවත්ව ගියහ.

පාකිස්තාන පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 310
(හාරිස් සොහේල් 31, අසාද් ශෆීක් 62, සර්ෆරාස් අහමඞ් 20, ශඩාබ් ඛාන් 55, ෆාහීම් අෂ්රෆ් 83, ටිම් මර්ටැග් 45/4, ස්ටුවට් තොම්සන් 62/3, බොයිඞ් රැන්කින් 75/2)

අයර්ලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 130
(කෙවින් ඕ’බ්‍රයන් 40, ගැරී විල්සන් නොදැවී 33, මොහොමඞ් අබ්බාස් 44/4, ශඩාබ් ඛාන් 31/3, මොහොමඞ් අමීර් 9/2)

අයර්ලන්ත දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 319
(එඞ් ජෝයිස් 43, විලියම් පොටර්ෆීල්ඞ් 32, කෙවින් ඕ’බ්‍රයන් නොදැවී 118, ස්ටුවට් තොම්සන් 53, මොහොමඞ් අමීර් 57/3, මොහොමඞ් අබ්බාස් 54/2)

-036

 

 


අදහස් (0)

කෙවින්ගේ ශතකයෙන් අයර්ලන්තය ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.