Last Update  :  2024-10-18 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව්වෝ තරම පෙන්වති
1 වැනි වි-20 තරගය

කොදෙව්වෝ තරම පෙන්වති

editorial - 2024 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ සිට...)

විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී තමන් කොයිතරම් තරගකාරී කණ්ඩායමක් ද යන්න කදිමට පෙන්වා දුන් බටහිර ඉන්දීය කොදෙව්වෝ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති පළමු තරගයේදී කඩුලු 5 ක පහසු ජයක් අත්කර ගත්හ. ලකුණු 180 ක ඉලක්කයක් කරා ගිය කොදෙව්වෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදීම ජයටැඹ පසුකර ගියේ තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගනිමිනි. 

මෙම පරාජය ශ්‍රී ලංකා කණ්ඩායම සිය අවසන් විස්සයි-20 තරග 4 දී ලබාගත් තුන්වැනි පරාජය වන අතර අනෙක් තරගය ලකුණු සමවීමෙන් අවසන් විය. කෙසේ වෙතත් එය පුදුමයට කාරණාවක් නොවන්නේ විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව බටහිර ඉන්දීය කණ්ඩායම 3 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකා කණ්ඩායම 8 වැනි ස්ථානයේත් සිටින බැවිනි. 

කොදෙව් ඉනිම ආරම්භයේදීම අධිවේගී ලකුණු රැස්කිරීමක නිරත වූ බ්‍රෙන්ඩන් කිං (63) සහ එවින් ලුවිස් (50) දෙදෙනා 10 වැනි ඕවරය නිමාවන්නටත් පෙර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක් එකතු කළහ. තරගයේ වීරයා වූ කිං, පන්දු 33 කින් ලබාගත් ලකුණු 63 ට හතරේ පහර 11 ක් ඇතුළත් කරද්දී, එවින් ලුවිස් සිය ඉනිම හතරේ පහර 5 කින් සහ දැවැන්ත හයේ පහර 4 කින් අලංකාර කළේය. 

එතැන් සිට කොදෙව්වන්ගේ ගමන පහසු වූයෙන් කොදෙව්වෝ සිය ලකුණු වේගය 10.00 ආසන්නයේ තබාගත්තේ ඕනෑම මොහොතක ඇද වැටිය හැකි වර්ෂාවට පිළිතුරක් ලෙසිනි. 

ටෙස්ට් පිටියේදී කළ පිතිහරඹය විස්සයි-20 පිටියටත් ගෙනගිය කමිඳු මෙන්ඩිස් (51) සහ නායක චරිත් අසලංක (59) දෙදෙනා එක්ව ගොඩනැංවූ ලකුණු 82 ක සම්බන්ධතාව මත සිටගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ නියමිත ඕවර 20 නිමාවේදී ලකුණු 179 ක් ලබාගත්හ. 

කාසියේ වාසිය අහිමි වීම හේතුවෙන් පළමුවෙන් පිතිහරඹයට යාමට සිදුවූ නමුත් 10 වැනි ඕවරය වන විට ලකුණු 83 ක් පුවරුවට එකතු කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ හොඳින් තරගයට ප්‍රවේශ වූහ. ක්‍රමාණුකුලව සිය ලකුණු වේගය වැඩිකරගත් ඔව්හු අවසන් ඕවර 6 දී ලකුණු 60 ක් ලබාගත්හ. 

ලකුණු 58 දී කුසල් මෙන්ඩිස් දැවී යාමෙන් පසුව එක්වූ කමිඳු මෙන්ඩිස් සහ චරිත් අසලංක දෙදෙනා, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කින් ලකුණු 82 ක් එකතු කළහ. අලංකාර හතරේ පහර 14 කින් සහ හයේ පහර 2 කින් කොදෙව් පන්දු යවන්නන්ට සංග්‍රහ කළ කමිඳු සහ අසලංක අතර සම්බන්ධතාව බිඳී යන විට පුවරුවේ ලකුණු 140 ක් සටහන්ව තිබූ අතර ඕවර 4 ක් ඉතිරිව තිබිණ. 

අවසන් ඕවර 4 දී ලකුණු 39 ක් ලබාගත් ශ්‍රී ලංකා පිලට භානුක රාජපක්‍ෂ මුහුණ දුන් පන්දු 11 න් ලකුණු 17 ක් ලැබිණ. 

තරගය ආරම්භ වීමට පැය දෙකක් තිබියදී, රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ හතරේ සීමාව ඇතුළත සම්පූර්ණයෙන්ම තණතීරු ආවරණ වලින් වසාදමා තිබුණත් ප්‍රමාද වී කාසියේ වාසිය බැලීමට විනිසුරුවරු තීරණය කළහ. ඒ අනුව රාත්‍රී 7.00 ට කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව රාත්‍රී 7.30 ට තරගය ආරම්භ කිරීමට තීරණය කෙරිණ. 

තරගය ඕවර 20 තරගයක් වන අතර ආරම්භය ප්‍රමාද වූවත් ඕවර සංඛ්‍යාව අඩු නොකෙරිණ. 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 


අදහස් (1)

කොදෙව්වෝ තරම පෙන්වති
  • Thoppi hora Monday, 14 October 2024 03:54 PM

    ඔව්වා ආන්ඩුවේ වැරැදි...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.