Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව්වෝ 3-2 කින් ඉන්දියාව පරදවති

කොදෙව්වෝ 3-2 කින් ඉන්දියාව පරදවති

editorial - 2023 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව ෆ්ලොරිඩාහිදී පැවැති 5 වැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ බටහිර ඉන්දීය කොදෙව්‍ පිල, දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-2 ක් ලෙස ජයගැනීමට සමත් විය. මෙය කෙ‍ාදෙව් කණ්ඩායමක් තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියකදී ඉන්දියාව පරාජය කළ පළමු අවස්ථාව ලෙසද වාර්තා අතරට එක් විය.

පස්වැනි තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වෝ ඕවර 2 ක් ඉතිරිව තිබියදී ඉලක්කය පසුකර ගියහ. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කිං පන්දු 55 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 85 ක් රැස්කරමින් සිය කණ්ඩාය‍ම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

නිකලස් පූරන් (47) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 72 කදී ලකුණු 107 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූ බ්‍රෙන්ඩන්, ඉන් නොනැවතී ශායි හෝප් (නොදැවී 22) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 52 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 165 ක් ලබාගත් අතර ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සූර්යකුමාර් යාදව් පන්දු 45 කින් ලකුණු 61 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. තිලක් වර්මා පන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ‍රොමාරියෝ ශෙපර්ඩ් ලකුණු 31 කට කඩුලු 4 ක් බිඳහෙළූ අතර අකීල් හොසේන් සහ ජේසන් හෝල්ඩර් කඩුලු 2 බැගින් දවාගනිමින් ඉන්දීය පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ශෙපර්ඩ්ට අනගි සහායක් ලබාදුන්හ.

 

ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 165
(සූර්යකුමාර් යාදව් 61, තිලක් වර්මා 27, හර්දීක් පාණ්ඩ්‍යා 14, රොමාරියෝ ශෙපර්ඩ් 31/4, අකීල් හොසේන් 24/2, ජේසන් හෝල්ඩර් 36/2)

‍බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 18 කදී කඩුලු 2 කට 171
(‍බ්‍රෙන්ඩන් කිං නොදැවී 85, නිකලස් පූරන් 47, ශායි හෝප් නොදැවී 22)

-036


අදහස් (0)

කොදෙව්වෝ 3-2 කින් ඉන්දියාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.