Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොළඹ මැරතන් ශූරයා කෙන්යාවේ ජෝෂප්

කොළඹ මැරතන් ශූරයා කෙන්යාවේ ජෝෂප්

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7000 කට ආසන්න සංඛාවක් සහභාගි වූ 16 වැනි එල්. එස්. ආර්. කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලියේ පිරිමි පූර්ණ මැරතන් තරගය ජයගැනීමට කෙන්යානු ක්‍රීඩක ජෝසප් කරිවුකි සමත් විය. ඒ සඳහා ඔහුට ගතවූ කාලය පැය 2 යි විනාඩි 25 යි තත්පර 32 කි.

සෑම වසරකම ඔක්තෝබර් මස පළමු වැනි ඉරිදා පැවැත්වෙන කොළඹ මැරතන් තරගය අද (2 වැනිදා) කොළඹ  සිට මීගමුව දක්වා පැවැත්විණ.

ඉකුත් වසරේ (2015) පැවැති කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගයේ පූර්ණ මැරතන් තරගය පැය 2 යි විනාඩි 25 යි තත්පර 51 කින් තරගය නිමා කළ ජෝසප් කරිවුකි, එහි තෙවැනි ස්ථානයට පත්විය. ඒ අනුව මෙවර ඔහුගේ තරග නිමි කාලය ඉක-ුත් වසරට වඩා තත්ත්පර 19 කින් වර්ධනය වී තිබේ.

පිරිමි පූර්ණ මැරතන් තරගය ජයගත්
කෙන්යාවේ ජෝසප් කරිවුකි  

පැය 2 යි විනාඩි 25 යි තත්පරය 45 කින් තරගය නිමා කළ කෙන්යාවේ අමෝස් මයියොස් පූර්ණ මැරතන් තරගයේ දෙවැනි ස්ථානයටත්, පැය 2 යි විනාඩි 26 යි තත්පරය 59 කින් තරගය නිමා කළ කෙන්යාවේ ජෝසප් වංගි එහි තෙවැනි ස්ථානයටත් පත්වූහ.

සිව්වැනි ස්ථානය හිමිකරගත් ඩී. එන්. ඩී. සඳරුවන්, තරගය නිමා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් වූ අතර ඔහු තරගය නිමා කිරීමට ගතකළ කාලය පැය 2 යි විනාඩි 28 යි තත්පර 40 කි.

කාන්තා පුර්ණ මැරතන් ජයගැනීමට පැය 2 යි විනාඩි 53 යි තත්පර 47 කින් තරගය අවසන් කළ කෙන්යාවේ මාගරෙට් වැන්ගුයි සමත් වූවාය. ඉකුත් වසරේ (2015) පැවැති කාන්තා පූර්ණ මැරතන් තරගය ජයගත් ශ්‍රී ලංකාවේ අනුරාධි බෝගහවත්ත මෙවර දෙවැනියා ලෙස තරගය නිමා කළාය. ඇයට ඒ සඳහා ගත වූ කාලය පැයි 2 යි විනාඩි 56 යි තත්ත්පර 04 කි.

පැය 3 යි 02 යි තත්පර 22 කින් තරගය අවසන් කළ කෙන්යාවේ සුසාන් කොස්ගෙයි  තෙවැනි ස්ථානයට පත් වූ අතර පැය 3 යි 04 යි තත්පර 32 කින් තරගය අවසන් කළ ශ්‍රී ලංකාවේ වේලු ක්‍රිෂාන්ති එහි සිව්වැනි ස්ථානයට පත්වූවාය.

පූර්ණ මැරතන් තරගයේ ප්‍රථම ස්ථාන දිනාගත් ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට ත්‍යාග වශයෙන් ඇමරිකානු ඩොලර් 2500 ක මුදලක් සහ ගුවන් ටිකට්පතක් බැගින් පිරිනැමිණ. එම මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් තුන් ලක්ෂ හැටදහසක් (360,000) පමණ විය.

එහිදී දෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 1500 ක් බැගින්ද, තෙවැනි ස්ථාන සඳහා ඇමරිකානු ඩොලර් 1000 ක් බැගින්ද, සිව්වැනි සහ පස්වැනි ස්ථාන වලට පිළිවෙළින් ඇමරිකානු ඩොලර් 500 ක් සහ 200 ක් බැගින්ද පිරිනැමිණ.  

තරගාවලියේ පිරිමි අර්ධ මැරතන් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ කුමාර් ශන්මුගේෂ්වරන්  සමත් වූ අතර කාන්තා අර්ධ මැරතන් තරගය ජය ගැනීමට කෙන්යාවේ නයෝමි වම්බුල් සමත් වූවාය.

පැය 1 යි විනාඩි 10 යි තත්පර 12 කින් කුමාර් ශන්මුගේෂ්වරන් අර්ධ මැරතන් තරගය නිමා කළ අතර නයෝමි වම්බුල්ට අර්ධ මැරතන් තරගය නිමා කිරීම සඳහා පැය 1 යි විනාඩි 25 යි තත්පර 57 ක කාලයක් ගතවිය.

කාන්තා පූර්ණ මැරතන් තරගය ජයගත්
කෙන්යාවේ
මාගරෙට් වැංගුයි

මෙවර තරගාවලිය සඳහා රටවල් 41 ක් නියෝජනය කරමින් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 කට අධික පිරිසක් සහභාගී වූ අතර ඒ අතුරින් වැඩිම තරගකරුවන් පිරිසක් (49 ක්) ඉදිරිපත්ව සිටියේ චීනයෙනි. වඩාත්ම ප්‍රබල තරගකරුවන් ඉදිරිපත් වන කෙන්යාවෙන් 30 දෙනෙක් මෙම තරගයට සහභාගි වූ අතර ඉන්දියාවෙන් 27 ක්, මාලදිවයිනෙන් 15 ක්, එක්සත් ජනපදයෙන් 15 ක්, බි්‍රතාන්‍යයෙන් 12 ක්, ජපානයෙන් 13 ක්, ප්‍රංශයෙන් 9 ක් සහ ජර්මනියෙන් 8 ක් බැගින් මෙවර තරගාවලියට ඉදිරිපත්ව සිටියහ.

පිරිමි පූර්ණ මැරතන් තරගය නිමා කළ පළමු ක්‍රීඩකයන් 10 දෙනා අතරින් 6 දෙනෙක්ද, කාන්තා පූර්ණ මැරතන් තරගය නිමා කළ පළමු ක්‍රීඩිකාවන් 5 දෙනා අතරින් දෙදෙනෙක්ද කෙන්යානුවෝ වූහ. ඒ අනුව තරගයේ වැඩි ගෞරව දිනාගැනීමට කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ බව කිව හැකිය.

ලංකා ස්පෝට්රයිසන් සමාගම සංවිධාන කළ මෙම මැරතන් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ශ්‍රි ලංකන් එයාර් ලයින්ස් සමාගම කටයුතු කළේය.


පිරිමි පූර්ණ මැරතන් තරගය  

1    ජෝසප් කරිවුකි (කෙන්යාව) - පැය 2:25.32
2    අමෝස් මයියෝස් (කෙන්යාව) - පැය 2:25.45
3    ජෝසප් වංගි (කෙන්යාව) - පැය 2:26.59
4    ඩී. එන්. ඩී. සඳරුවන් (ශ්‍රී ලංකාව) - පැය 2:28.40
5    ජී. කේ. ගුණසේකර (ශ්‍රී ලංකාව) - පැය 2:31.37
6    ස්ටීවන් මුංගතියා (කෙන්යාව) - පැය 2:35.16
7    ඇල්බට් කිපන්ගෙටිච් (කෙන්යාව) - පැය 2:37.36
8    නුවන් සුගන්ද (ශ්‍රී ලංකාව) - පැය 2:27.45
9    සැමී කිප්කොයෙච්පුම් (කෙන්යාව) - පැය 2:38.35
10    ඩබ්ලව්. ඩී. නිරෝෂන (ශ්‍රී ලංකාව) - පැය 2:39.42


කාන්තා පූර්ණ මැරතන් තරගය

1  මාගරෙට් වැංගුයි (කෙන්යාව) - පැය 2:53.57
2  අනුරාධි බෝගහවත්ත (ශ්‍රී ලංකාව) - පැය 2:56.04
3  සුසාන් කෙස්ගෙයි (කෙන්යාව) - පැය 3:02.22
4  වේලු ක්‍රිෂාන්ති (ශ්‍රී ලංකාව) - පැය 3:04.32
5  එම්. ඒ. ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) - පැය 3:19.11
6  එස්. ඩී. හේමන්ති (ශ්‍රී ලංකාව) - පැය 3:34.53
7  මල්ලිකා චන්ද්‍රකාන්ති (ශ්‍රී ලංකාව) - පැය 3:36.44
8  පැටි්‍රෂියා ගෝමස් (ශ්‍රී ලංකාව) - පැය 3:53.02  


පිරිමි අර්ධ මැරතන් තරගය  

1    කුමාර් ශන්මුගේෂ්වරන් (ශ්‍රී ලංකාව) - පැය 1:10.12
2    මහේෂ් ගණතිලක (ශ්‍රී ලංකාව) - පැය 1:10.44
3    එස්. ආර්. කුමාර (ශ්‍රී ලංකාව) - පැය 1:11.14
4    ටී. ජි. අලහකෝන් (ශ්‍රී ලංකාව) - පැය 1:11.25
5    එරන්ද තෙන්නකෝන් (ශ්‍රී ලංකාව) - පැය 1:12.06


කාන්තා අර්ධ මැරතන් තරගය

1    නයෝමි වම්බුල් (කෙන්යාව) - පැය 1:25.57
2    කේ. එම්. වික්‍රමසූරිය (ශ්‍රී ලංකාව) - පැය 1:27.58
3    ඩබ්ලිව්. ඩී. මල්කාන්ති (ශ්‍රී ලංකාව) - පැය 1:28.21
4    නිලානි ප්‍රියදර්ශනී (ශ්‍රී ලංකාව) - පැය 1:28.55
5    දිල්රුක්ෂිකා එරන්දි (ශ්‍රී ලංකාව) - පැය 1:34.39

ඡායාරූප - ලහිරු හර්ෂණ

 

16 වැනි එල්. එස්. ආර්. කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලියේ උණුසුම් අවස්ථා...

(ඡායාරූප - ලහිරු හර්ෂණ)


අදහස් (0)

කොළඹ මැරතන් ශූරයා කෙන්යාවේ ජෝෂප්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.