Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගලක් බැඳලා මුහුදට තල්ලු කළා වගේ දැනුණා

ගලක් බැඳලා මුහුදට තල්ලු කළා වගේ දැනුණා

editorial - 2023 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා ඇමැති ධුරය දැරීම තමාගේ බෙල්ලට ගලක් ගැට ගසා මුහුදට තල්ලු කළා වැනි හැඟීමක් දැනුණු බවත් ක්‍රීඩා අමාත්‍යාංශය මේ වනවිට තනිකරම අච්චාරු ගොඩක් බවට පත්ව ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන්  ඊයේ (30) ක්‍රීඩා අමාත්‍ය  ශ්‍රවණාගාරයේදි පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සභාපති වෙමින් ඇමැතිවරයා එසේ පැවසීය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය සඳුදා (27) ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව එදිනම රාත්‍රියේ ක්‍රීඩා ඇමැතිධුරයේ දිවුරුම් දුන් හරින් ප්‍රනාන්දු මහතා එයින් පසුව මෙරට ක්‍රීඩා කේෂ්ත්‍රයේ නිල උත්සවයකට සහභාගි වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

ඊයේ සිය 10 වැනි සංවත්සරය සැමරු ශ්‍රී ලංකා උත්තේජන මර්දන නියෝජ්‍යායතනය ක්‍රීඩා අමාත්‍යාංශයේ විෂය පඨයට අයත් ආයතනයකි.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා ,වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රේණුක සිල්වා, කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අනෝමා රත්නායක, කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය චතුරංග රණසිංහ, හිටපු  ශ්‍රී ලංකා කඩුලු පැනිමේ ශූරී ශ්‍රියානි කුලවංශ යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් එහිදී සංවත්සරයට සමගාමිව විශේෂ විද්වත් කතිකාවක් සිදුකෙරුණි.

මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක හිටපු ඔලිම්පික් පදක්කම්ලාභි සුසන්තිකා ජයසිංහ යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

ක්‍රීඩා වෛද්‍යවරුන්, ක්‍රීඩා පෝෂණවේදීන් ඇතුළුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් ඇතුළුව ක්‍රීඩා ක්ෂේත්‍රය නියෝජනය කරන පාර්ශ්ව රැසක විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

උත්සව සභාව ඇමතූ හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ මේ දිනවල රට තුළ විශාල ලෙසින් ක්‍රිකට් ගැන කතා කළත් රටේ ක්‍රීඩාව යනු ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොවන බවයි.

එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය.

මම සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ආතල් එකේ හිටියා. ක්‍රීඩා අමාත්‍යාංශය බාර ගත්තා කියන්නේ හරියට මාව බෙල්ලේ ගලක් ගැටගහලා  මුහුදට තල්ලු කළා වගේ වැඩක්. අද ක්‍රීඩා අමාත්‍යාංශය කියන්නේ තනිකරම අච්චාරු ගොඩක්. මේ ඇමැති ධුරය බාර ගත්ත අයට මුළු කාලයම ඉන්න බැරි වුණා. වැඩක් කරගෙන යනකොට ඒ බොහෝ අයට එළියට යන්න වුණා.

මේ රටේ ක්‍රීඩාව කියන්නේ ක්‍රිකට් නොවන බව අප තේරුම් ගත යුතුයි. අද රටේ ක්‍රීඩාවට විශාලම ප්‍රශ්න ඇති කරලා තිබෙන්නේ ජාතික ක්‍රීඩා සංගම්. මේ රටේ තිබෙන ජාතික ක්‍රීඩා සංගම් 66ගේ ප්‍රශ්න විසඳන්න ගියාම මේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න විසඳන්න කාලයක් නෑ. ඒ සමහර ජාතික ක්‍රීඩා සංගම් වලට ක්‍රීඩාවක් තිබෙනවාද තියන එකත් ගැටලුවක්.

ක්‍රිකට් ප්‍රශ්නයක් නිසා මට අද ක්‍රීඩා ඇමැති ධුරය බාර ගන්න වුණා. එය මගේ උවමනාවට සිදුවුණ එකක් නොවේ. එය විශාල අභියෝගයක්. නමුත් එය ජය ගන්න මා උත්සාහ කරනවා. අද ක්‍රිකට් ප්‍රශ්නයට ලොකුම අවුල වෙලා තිබෙන්නේ රටේ ක්‍රීඩා පනතයි. එය වෙනස් කළ යුතුයි. අන්තර් ජාතික ක්‍රිකට් සභාවත් එක්ක යන ක්‍රීඩා පනතක් අපි හදා ගත යුතුයි.

පාකිස්ථානයේ ක්‍රිකට් ප්‍රධානියා පත් කරන්නේ එරට ජනාධිතිවරයා. ඒ ඒ රටේ ක්‍රීඩා නීතියට අනුව සිදු වන්නක්. ඒක දේශපාලන ඇඟිලි ගැසීම් කියලා පාකිස්ථානය තහනම් කරන්න අයි.සී.සී. ය. උත්සාහ කරලා නෑ. අපේ ක්‍රීඩා පනතත් ඒ අන්දමට සකස් කරගත යුතුයි. එතකොට අයි.සී.සී.යට අපෙන් අතුරු කමිටු ගැන ප්‍රශ්න කරන්න බෑ.

 නමුත් අතුරු කමිටු කියලා කියනකොටම ප්‍රශ්නයක් පැනනගිනවා. ඒ නිසා ක්‍රිකට් ප්‍රශ්නයට විසඳුම ලෙස අතුරු කමිටු යෝජනා කරන එක ප්‍රායෝගික  නෑ.

මේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලියුම් අරගෙන උදේ ඉඳන් ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිට පෝලිම්වල ඉන්න ක්‍රමයට මම එකඟ නෑ. ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් වූ සැණින් කඩිනමින් සොයා බලන දුක්ගන්නාරාල කෙනෙක් අප පත්කර ගත යුතුයි.

ඒ වගේම රටේ සෑම ජාතික ක්‍රීඩා කණ්ඩායමකටම මනෝ වෛද්‍යවරයෙක් පත් කර ගැනීම කළ යුතුයි. ක්‍රීඩකයන්ට සල්ලි ලැබුණාට වැඩක් නෑ. ඔවුගෛ් මනසත් දියුණු කළ යුතුයි.

මම මීට පෙරත් ක්‍රීඩා ඇමැති ධුරයේ කටයුතු කරන අවස්ථාවේදී තමයි ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකයක් පාර්ලිමේන්තුවේ අනුමත කර ගත්තේ එතනට ගිහින් ක්‍රීඩාවේ දූෂණ වැරදි ගැන කියන්න පුළුවන්. ඒවා කතාකළ යුත්තේ එතනදී. ඒ ගැන එළියේ කතා කරලා පලක් නෑ.

වයස 19න් පහළ ලෝක කුසලාන සත්කාරය ශ්‍රී ලංකාවෙන් ගිලිහුණා. ඒ වෙනකොට රටවල් හයක කණ්ඩායම් මෙරට හෝටල් වෙන්කර ගෙන තිබුණා. නමුත් අවාසනාවකට අපෙන් සත්කාරය ගිලිහී ගියා. අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ මීළඟ රැස්වීමට අපට ආරාධනා කරලා තිබෙනවා. නමුත් අපට ලෝක යොවුන් කුසලාන සත්කාරය නැවත ලැබෙන්නේ නෑ.


අදහස් (0)

ගලක් බැඳලා මුහුදට තල්ලු කළා වගේ දැනුණා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.