Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගාල්ල ක්‍රීඩාංගණයේ විමර්ශන අපරාධ අංශයට

ගාල්ල ක්‍රීඩාංගණයේ විමර්ශන අපරාධ අංශයට

ශනුක අරවින්ද - 2018 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිකට් ඔට්ටුකරුවන්ගේ ඕනෑ එපාකම් අනුව ගාල්ල ක්‍රීඩාංගණයේ තණතීරුව වෙනස් කළේ යැයි නැගෙන චෝදනාවන්ට විධිමත් පරීක්ෂණයක් කිරිමට අපරාධ විමර්ශන ඒකකය වෙත භාරදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති මොහාන් ද සිල්වා මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවැති පුවත් පත් සාකච්ඡාවකදී මොහාන් ද සිල්වා මහතා එසේ පැවසීය.

අල් ජසීරා රූපවාහිනි සේවයේ වැඩසටහනක් විකාශය වීමෙන් පසුව මෙහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි මාර්ගයෙන්  අන්තර්ජාතික ක්‍රිකට් සභාවට දැනුම් දී තිබේ. එහිදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇත්තේ, මේ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණ නොපවත්වන ලෙසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ විධායක රැස්වීමකදී මේ සම්බන්ධව සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත. ත්‍රිපුද්ගල කමිටුවේ සමාජිකයන් ලෙස මොහාන් ද සිල්වා, රොෂාන් බියන්විල සහ  චන්න වීරක්කොඩි යන මහත්වරු කටයුතු කරනු ඇත.

“ගාලු ක්‍රීඩා සමාජයේ තණතිල්ල ගැන තමයි ඔවුන් වැඩි පුරම කතා කරන්නේ. දවස් දෙකහමාරකින් තරගය ඉවර වෙනවා කියලා කියනවා...  විශේෂයෙන් අපි කියන්න කැමති ඔය තරගයේදී අපේ දඟ පන්දු පවන්නන් විකට් ගත්ත එක ඇත්ත. නමුත් ඕස්ටේ්‍රලියා කණ්ඩායමේ විකට් ගත්තේ වේග පන්දු යවන්නන්.”

“ලංකාව ගැන කතා කරද්දී අපේ ශක්තිය තියෙන්නේ දග පන්දු යවන්නන් අතේ. මුරලි විකට් 800 ගත්තා. රංගන විකට් 400 ගත්තා. සාමාන්‍යයෙන් ඕනම කණ්ඩායමක් තණතීරුව සකස් කරන්නේ ඒ කණ්ඩායම්වල ශක්තියට අනුකූලව”

“විශේෂයෙන් අපි හැම වෙලේම උත්සාහ කරන්නේ අපේ ශක්තියට අනුව තණතීරු සකස් කරන්න. ඕස්ටේ්‍රලියාවේ වැකා ක්‍රීඩාංගණය උනත් එහෙමයි. ඔවුන් වේග පන්දු යවන්නන්ට අනුකූලව තමයි තණතීරු සකස් කරන්නේ. සාමාන්‍යයෙන් කණ්ඩායමේ  නායකයා සහ කළමනාකරු එක්ක කතා කරලා තමයි තණතීරුවක් නිර්මාණය කරන්නේ” යැයිද මොහාන් ද සිල්වා මහතා පවසා සිටියේය.

අල් ජසිරා වැඩ සටහනට අනුව එහි නම් සඳහන් වන සියලුම පුද්ගලයන්ගේ වැඩ තාවකාලිකව නවතා ඇති බවත්, ඒ අතර තරිඳු මෙන්ඩිස් සහ තරංග ඉන්දික දෙදෙනාත් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. ජීවන්ත කුලතුංග පිළිබදවද නිසි වාර්ථාවක් ලැබී නොමැති නමුත් ඔහු පිළිබඳවද අන්තර්ජාතික ක්‍රිකට් සභාව පරික්ෂණයක් කරන බව වාර්ථා වේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවට සම්පූර්ණ සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බවද එහිදී අවශ්‍ය සෑම තොරතුරක්ම ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරන බවද මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේය.

තණතීරුවේ සිදුවුණා යැයි කියන අක්‍රමිකතා සොයා බලන ලෙස අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් යොමු කර ඇත්තේ ප්‍රධාන විධායක නිලධාරියා විසිනි.

“විදෙස් මාධ්‍ය ආයතනයක මෙහෙම දෙයක් යනවා. ඒ සම්බන්ධයෙන් විධමත් පරික්ෂණයක් පවත්වන්න කියලා කිව්වා. අපි මේ සම්බන්ධව නම් සදහන් කළේ නැහැ. ඉදිරියේදී එය සොයා බලා නිසි පියවර ගන්න බව ඔවුන් අපට පැවසුවා” යැයි ඈෂ්ලි ද සිල්වා මහතා මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

- 024


අදහස් (0)

ගාල්ල ක්‍රීඩාංගණයේ විමර්ශන අපරාධ අංශයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.