Last Update  :  2025-02-28 20:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගුණරත්න - ජයසිංහ ශ්‍රී ලංකා පිල දිනවති
ප්‍රවීනයන්ගේ විස්සයි-20 ලීගය

ගුණරත්න - ජයසිංහ ශ්‍රී ලංකා පිල දිනවති

editorial - 2025 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රවීනයන්ගේ ලීග විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගයේදී ජැක් කලිස් නායකත්වය දරන දකුණු අප්‍රිකානු ප්‍රවීනයන්ගේ කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කුමාර් සංගක්කාර නායකත්වය දරන ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම ඊයේ (26 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම ඕවර 17.2 අවසානයේ කඩුලු 3 ක් පමණක් ඉලක්කය සපුරාගත්හ. අසේල ගුණරත්න (නොදැවී 59) සහ චින්තක ජයසිංහ (නොදැවී 51) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 51 කදී ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. 

එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ගුණරත්න, පන්දු 33 කදී ලබාගත් සිය අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සැරසූ අතර පන්දු 25 කදී වාර්තා වූ ජයසිංහගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය. ආරම්භක පිතිකරු උපුල් තරංග පන්දු 26 කින් ලකුණු 29 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ප්‍රවීනයන්ගේ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 180 ක් ලබාගත්තේය. දකුණු අප්‍රිකානු ප්‍රවීනයන්ගේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු හෂීම් අම්ලා පන්දු 53 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 76 ක් රැස්කළේය. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ චතුරංග ද සිල්වා සිය ඕවර 4 ලකුණු 28 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගත් අතර ඉසුරු උදාන ලකුණු 44 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය. දකුණු අප්‍රිකානු ප්‍රවීනයන්ගේ කණ්ඩායම ලකුණු 200 සීමාවට මෙපිටින් තබාගැනීම සඳහා ඔවුන් දෙදෙනාට අනගි සහායක් දුන් ධම්මික ප්‍රසාද් සහ සුරංග ලක්මාල් කඩුල්ල බැගින් දවාගත්හ.
 

දකුණු අප්‍රිකානු ප්‍රවීනයන්ගේ පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 180 
(හෂීම් අම්ලා 76, ජැක් කලිස් 24, ඩේන් විල්ස් නොදැවී 28, චතුරංගග ද සිල්වා 28/2, ඉසුරු උදාන 44/2) 

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ පිල - ඕවර 17.2 කදී කඩුලු 3 කට 183 
(උපුල් තරංග 29, කුමාර් සංගක්කාර 16, අසේල ගුණරත්න නොදැවී 59, චින්තක ජයසිංහ නොදැවී 51, තන්ඩි ට්ෂබාලාලා 32/2) 

-036 


අදහස් (0)

ගුණරත්න - ජයසිංහ ශ්‍රී ලංකා පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.