Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගෝපාල්ගේ පන්දු යැවීම රාජස්තාන් පිල දිනවයි

ගෝපාල්ගේ පන්දු යැවීම රාජස්තාන් පිල දිනවයි

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රෙයාස් ගෝපාල්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 53 වැනි තරගය ලෙස රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර ජායිපූර්හිදී අද (19 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 30 ජයක් අත්කර ගැනීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමග රාජස්ථාන් කණ්ඩායමට තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා තවදුරටත් බලාපොරොත්තු තබාගත හැකි වූ අතර බැංගලෝර් කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කණ්ඩායම ඕවර 19.2 ක් අවසානයේ ලකුණු 134 කට සීමා කිරීමට ශ්‍රෙයාස් ගෝපාල් ප්‍රමුඛ රාජස්ථාන් පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීම නිරත වූ ගෝපාල්, බැංග්ලෝර් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූයේ සිය ඕවර 4 ලකුණු 16 කට සීමා කරමිනි.

එහිදී ගෝපාල් දවාගත් කඩුලු 4 න් 3 ක්ම කඩුලු රකින ක්‍රීඩක හෙයින්රිච් ක්ලාසන්ගේ දක්ෂ ස්ටම්ප් කිරීම් හමුවේ දවාගත් කඩුලු වූ අතර ඔහු අනෙක් කඩුල්ල දවාගත්තේ තමාගේම අතට පැමිණි උඩ පන්දුවක් රැකගැනීමෙනි. බැංග්ලෝර් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අහුරා දැමීම සඳහා ගෝපාල්ට අනගි සහයක් දුන් බෙන් ලෝලින් සහ ජයදේව් උනාඞ්කට් කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 කටත් අඩුවෙන් දැවීයද්දී, බැංග්ලෝර් කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට ඒ.බී. ඩිවිලියස් සමත් විය. පන්දු 35 කට මුහුණදුන් ඩිවිලියස්, සිය අර්ධ ශතකය හතරේ පහර 7 කින් සැරසීය. ආරම්භක පිතිකරු පාර්තිව් පටේල් (33) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩිවිලියස් සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 164 ක් රැස්කළ අතර රාජස්තාන් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ආරම්භක පිතිකරු රාහුල් ට්‍රිපාති පන්දු 58 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 80 ක් රැස්කළේය.

නායක අජින්ක්‍යා රහනේ (33) සමග එකව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ට්‍රිපාති , ඉන් නොනැවතී හෙයින්රිච් ක්ලාසන් (32) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් රාජස්තාන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 31 කදී වාර්තා වූ රහනේගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 21 කදී වාර්තා වූ ක්ලාසෙන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය.

බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ උමේෂ් යාදව් ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගත්තේ අජින්ක්‍යා රහනේගේ කඩුල්ලද සමගිනි. ජොෆ්රා ආචර් සහ සංජු සැම්සන් ලකුණු ලබාගැනීමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් කිරීමටද යාදව් සමත් විය.


රාජස්තාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 164
(රාහුල් ත්‍රිපාති නොදැවී 80, අජින්ක්‍යා රහනේ 33, හෙයින්රිච් ක්ලාසන් 32, උමේෂ් යාදව් 25/3)

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 20 කදී සියලු දෙනා  දැවී 134  
(ඒ.බී. ඩිවිලියස් 53, පාර්තිව් පටේල් 33, ශ්‍රෙයාස් ගෝපාල් 16/4, බෙන් ලෝංලින් 15/2, ජයදේව් උනාඞ්කට් 27/2)

 

- 036

 


අදහස් (0)

ගෝපාල්ගේ පන්දු යැවීම රාජස්තාන් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.