Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඝෝෂා කිරීම් මැද ගිණුම් වාර්තාව අනුමතයි

ඝෝෂා කිරීම් මැද ගිණුම් වාර්තාව අනුමතයි

editorial - 2024 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ගිණුම් වාර්තාවෙන් පැන නැගුණු වියදම් කීපයක් සම්බන්ධයෙන් වෝහාරික විගණයක් සිදු කිරීමේ අනුමැතියට යටත්ව ජාතික ඔලිම්පික් කමිටුවේ 2022 වසරේ ගිණුම් වාර්තාව පෙරේදා (30) එහි පැවැති වාර්ෂික මහ සභා රැස්වීමේදී අනුමත කෙරුණි. 

ශ්‍රී ලංකා ආධුනික බොක්සින් සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා ඇතුළු ජාතික ක්‍රීඩා සංගම් කීපයකම නියෝජිතයෝ මෙම මහ සභා රැස්වීමේ අදහස් දැක්වීමට යාමේදී එහි උණුසුම් තත්වයක් උද්ගතවූ බවද වාර්තා වේ. 

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, එහි මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මහ සභා රැස්වීමේ ප්‍රධානතම අරමුණ වූයේ කමිටුවේ 2022 වසරේ විගණනය කරන ලද ගිණුම් වාර්තාව අනුමත කර ගැනීමයි. 

මෙහිදී බොක්සින් සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා ඇතුළු ජාතික ක්‍රීඩා සංගම් කීපයක නියෝජිතයන් ගිණුම් වාර්තාවෙන් පැන නැගුණු වියදම් කීපයක් සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ සභාවේ විටින් විට ඝෝෂාකාරී තත්ත්වයක් පැන නැගුණි. 

රුපියල් කෝටි 35 කට (මිලියන 350) ආසන්න ආදායමක් 2022 දී ලබා තිබෙන ජාතික ඔලිම්පික් කමිටුව එහිදී වියදම් ලෙස රුපියල් කෝටි 25 ක් (මිලියන 250) පමණ වැයක් විගණන වාර්තාවෙන් දක්වා තිබේ. එහිදී වැඩිම වියදම් ලෙස රුපියල් කෝටි 11 ක වියදමක් එම වසරේ සිදු කළ ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සහභාගීත්වය වෙනුවෙන් දක්වා තිබේ. 

ඒ අතර එම වසරේදී පැවැති ‘‘ටෝකියෝ’’ ඔලිම්පික් උළෙල ඉලක්ක කරමින් සිදුකළ ක්‍රීඩා ශිෂ්‍යත්ව ප්‍රදානයන් වෙනුවෙන් රුපියල් මිලියන 22 කට ආසන්න වන වියදමක් දක්වා තිබේ.

මේ අතර මහ ලේකම්වරයා බාරයේ සිදු කෙරෙන ක්‍රීඩා උසස් ප්‍රවර්ධන පාඨමාලා හැදෑරීමේ වියදම් සම්බන්ධයෙන් දක්වා තිබෙන වියදම් ගැන මහ සභාවේදී ජාතික ක්‍රීඩා සංගම් කීපයකම නියෝජිතයන්ගෙන් ප්‍රශ්න කිරීම් කෙරී ඇත. 
මෙහිදී අදහස් දක්වා තිබෙන ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා මහ සභාවේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව තවදුරටත් වාර්තාවෙන් පැන නැගෙන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ නොහැකි බැවින් ප්‍රශ්නයට තුඩුදී තිබෙන වියදම් පමණක් හෝ එයින් පැන නැගෙන කරුණු සම්බන්ධයෙන් වෝහාරික විගණයක් සිදු කිරීම ප්‍රමාණවත් බව ප්‍රකාශ කර තිබේ. 

ඊට සභාවේ එකඟතාව පළ කිරීමෙන් පසුව ලබන ජනවාරි 31 වැනිදාට පෙර විශේෂ මහ සභාවක් කැඳවා එම වෝහාරික විගණන අනුමත කර ගැනීමට එහිදී ඉදිරිපත්වූ යෝජනාවට සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසුව 2022 ගිණුම් වාර්තාව සභා සම්මත විය. 

ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය හෙබි ජාතික ක්‍රීඩා සංගම් තිස් එකේම (30) නියෝජිතයෝ පෙරේදා මහ සභාවේ අසුන්ගෙන සිටියහ.  එහිදී විශේෂත්වය වූයේ පරිපාලන අර්බුද හමුවේ ජාතික ඔලිම්පික් කමිටුවේ රැස්වීම්වල මෙතෙක් අසුන් ගැනීම තහනම් කර සිටි ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය හා ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් (අත්පන්දු) සම්මේලනයට පෙරේදා මහ සභාවේ දොරටු විවරවීමයි. 

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එහි ලේකම් නලින් අධිකාරිආරච්චි මහතා සහභාගි විය. එම අවස්ථාව මුල් වරට හිමිකර ගත් නලින් අධිකාරිආරච්චි මහතා සභාවේදී අදහස් දක්වමින් පැවසුවේ ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන් කළ වියදම් නිවැරදි නම් වෝහාරික විගණනයකට බිය විය යුතු නැති බවයි. 

මෙම මහ සභා රැස්වීමට පෙර ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයාට අවධාරණය කරමින් ලිපියක් යොමු කළ ඔහු ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය වෙනුවෙන් ඔලිම්පික් කමිටුවේ අසුන් ගැනීමේ අවස්ථාව නීත්‍යානුකූලව ලැබිය යුත්තේ මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශය නිල වශයෙන් පාපැදි සම්මේලනයේ විධායක සභාව ලෙස පිළිගන්නා සිය පාර්ශ්වයට බව ප්‍රකාශ කර සිටියේය. 

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිවරයා හා මහ ලේකම්වරයා අතර මේ වනවිට ප්‍රබල විරසකයක් ඇතිවී තිබෙන බවට ක්ෂේත්‍රයේ කතාබහක් ඇතිවී තිබෙන තත්වයන් තුළ පෙරේදා මහ සභා රැස්වීම විශේෂ අවධානයක් දිනාගත්තේය. 

කෙසේ වුවත් ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුවට ඔවුන් දෙදෙනා එකිනෙකාට එරෙහිව මේ වනවිට පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. 

එම එක් පැමිණිල්ලකින් ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් සිල්වා මහතා සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාට චෝදනා කර ඇත්තේ බැංකොක් නුවරදී පසුගිය ඔක්තෝබර් මාසයේ පැවැති ආසියානු ඔලිම්පික් සභාවේ මහ සභා රැස්වීමේදී තමන්ට බාධා ගෙන දෙමින් හැසිරුණු බවයි.


අදහස් (0)

ඝෝෂා කිරීම් මැද ගිණුම් වාර්තාව අනුමතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.