Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්දිමාල්ගෙන් තියුණු අවවාදයක්

චන්දිමාල්ගෙන් තියුණු අවවාදයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 17 ක් පුරා පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ යුනිස් ඛාන් සහ මිස්බා උල් හක් දෙදෙනා නොමැතිව නව යුගයකට පිවිසීමට පාකිස්තානය සූදානම් වෙයි. ඒ අතරවාරයේදීම දිගින් දිගටම එල්ලවූ විවේචන පසෙක තබා ශ්‍රී ලංකා කණ්ඩායමත් නව ගමනක් යාමට සැරසෙන්නේ අතීතය අමතක කරමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ගමනට මුල පුරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකිනි. තරග දෙකකින්  සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය හෙට (28 වැනිදා) අබුඩාබි නුවරදී ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වුවද මෙම තරගයට පිවිසෙන්නේ ප්‍රබලතම ක්‍රීඩකයන් දෙදෙනකු වන හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ අසේල ගුණරත්න නොමැතිවය. එහෙත් පාකිස්තානු පිල එසේ නොවේ. පසුගිය වසර 7 ක කාලය පුරාම මිස්බා හෝ යුනිස් ඛාන් දෙදෙනාගෙන් අයකු නැති ටෙස්ට් තරගයක් පාකිස්තානයට නොතිබිණ. මේ දෙදෙනා එක්ව ටෙස්ට් තරග 193 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 15,331 කි. දෙදෙනා අතර පැවැති ශතක සම්බන්ධතා 15 කි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලකුණු  රැස්කිරීම විනෝදයක් කරගත් මෙම පිතිකරුවන් දෙදෙනා සිටි පාකිස්තානු කණ්ඩායම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ටෙස්ට් තරගාවලි 9කට සහභාගි වී ඇතත් ඒ එකක් හෝ පරාජය වී නැත. පාකිස්තානු පිලෙන් විශ්‍රාම ගොස් ඇත්තේ එවන් විශිෂ්ට පිතිකරුවන් දෙදෙනකි.

එවන් තත්ත්වයක් තිබියදී වූවත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් කියන්නේ පාකිස්තානය පරාජය කිරීමට නම් ශ්‍රී ලංකා පිලේ දස්කම් වඩාත් උසස් තලයකට නංවාගත යුතු බවයි. එය තියුණු අවවාදයකි.

“යුනිස් හා මිස්බා කියන්නේ අති විශිෂ්ට ක්‍රීඩකයන් දෙන්නෙක්. ඔවුන් දෙන්නාම මේ කණ්ඩායමේ නැති නිසා අපට ඒක තරමක වාසියක් තමයි....ඒත් පාකිස්තානය පරාජය කරන්න නම් අපේ දස්කම් මීට වඩා ඉහළ නංවා ගත යුතුයි”  යයි දිනේෂ් චන්දිමාල් ඩුබායිහිදී පැවසීය.

ඉන්දියානුවන් හමුවේ ලද ඛේදජනක පරාජයේ වේදනාවෙන් පීඩිත ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් මහතා පසුගිය දිනෙක කියා තිබුණේ ‘සංක්‍රාන්ති සමය’ ගැන කතා කිරීමත් නොරුස්සන තත්ත්වයට ශ්‍රී ලංකා කණ්ඩායම පත්වී ඇති බවයි. ශ්‍රී ලංකා පිලට මේ වතාවේ ඇති එකම සහනය වන්නේ තමන්ගේ ප්‍රධානතම වේග පන්දු යවන්නන් දෙදෙනා වන නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල් දෙදෙනා ආබාධ වලින් සුවය ලබා නැවතත් කණ්ඩායමට එක්ව සිටීමයි.

කණ්ඩායමේ සිටින ප්‍රධානතම වේග පන්දු යවන්නන් දෙදෙනා වන නමුත් මේ දෙදෙනාටම ඇත්තේ එතරම් සිත්ගන්නා සුළු තරග වාර්තාවක් නොවේ. වසර 7 ක් පුරා ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් ටෙස්ට් තරග 37 කට සහභාගි වී සිටින සුරංග ලක්මාල් ඉනිම 66 කදී මෙතෙක් දවාගෙන ඇත්තේ ටෙස්ට් කඩුලු 82 ක් පමණි. සාමාන්‍යය ඉනිමකදී 10 කදී කඩුලු 12 කි.

වසර 6 ක් තිස්සේ ටෙස්ට් තරග 26 ක ඉනිම 49 කදී පන්දු යවා ඇති නුවන් ප්‍රදීප් දවාගෙන ඇත්තේ කඩුලු 67 ක් පමණි. සාමාන්‍යය ඉනිම 10 කදී කඩුලු 14 කි. මෙවන් තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා පිලට ඇති එකම බලාපොරොත්තුව වන්නේ දඟ පන්දු යවන්නන් වන රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා දෙදෙනාය. මේ දෙදෙනාගෙන් රංගන හේරත්ට පාකිස්තානුවන් හමුවේ ඇත්තේ අති විශිෂ්ට වාර්තාවකි.

වසර 2009 දී දෙවැනි වතාවටත් ශ්‍රී ලංකා පිලට කැඳවූ දා පටන් පාකිස්තානු පිතිකරුවන් අමාරුවේ දැමීම සෙල්ලමක් කරගත් රංගන හේරත් පාකිස්තනයට එරෙහිව පැවැති ටෙස්ට් තරග 19 කදී කඩුලු 90 ක් දවාගෙන තිබේ. තවත් අඩ වසරකින් 40 වැනි වියට පා තබන, ටෙස්ට් තරග 83 කට සහභාගි වී සිටින මෙම සුවිශේෂී වමත් දඟ පන්දු යවන්නාට සිය 400 වැනි ටෙස්ට් කඩුල්ල සඳහා අවශ්‍යව ඇත්තේ කඩුලු 11 ක් පමණි.

ආබාධ වලින් සුවය ලබා සිටින යසීර් ෂා නැවතත් කණ්ඩායමට එක්වීම නිසා ශ්‍රී ලංකා පිතිකරුවන් හමුවේත් ඇත්තේ සුළුපටු අභියෝගයක් නොවේ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් වරට ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියේදී පාකිස්තානු පිල 2-1 තරගාවලි ජයක් ලබාගත් අතර යසීර් ෂා කඩුලු 24 ක් දවාගත්තේය. තවමත් ටෙස්ට් වරම් නොලද දඟ පන්දු යවන්නන් වන මොහොමඞ් අස්ගර් සහ බිලාල් අසිෆ් දෙදෙනාත් යසීර් ෂාගේ සහායට සිටිති.

ඒ හැමදාමත් ශ්‍රී ලංකා පිතිකරුවන් අමාරුවේ දමන වේග පන්දු යවන්නන් වන මොහොමඞ් අමීර් සහ වහබ් රියාස් දෙදෙනාට අමතරවය.


ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ලක්ෂාන් සඳකැන්, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු ගමගේ


පාකිස්තානු සංචිතය
සර්ෆ්‍රාස් අහමඞ් (නායක), අසාර් අලි, ෂාන් මසූඞ්, සාමි අස්ලම්, බාබර් අසාම්, අසාඞ් ෂෆීක්, හැරිස් සොහේල්, උස්මන් සලාවුද්දීන්, යසිර් ෂා, මොහොමඞ් අස්ගර්, බිලාල් අසීෆ්, මීර් හම්සා, මොහොමඞ් අමීර්, හසන් අලි, මොහොමඞ් අබ්බාස් සහ වහබ් රියාස්

විනිසුරුවරු :
ඉයන් ගෝල්ඞ් (එංගලන්තය) සහ නයිජල් ලොන්ග් (එංගලන්තය)

තරග තීරක :
ඇන්ඩි පයික්‍රොෆ්ට් (සිම්බාබ්වේ)

 


අදහස් (0)

චන්දිමාල්ගෙන් තියුණු අවවාදයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.