Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චමරිගේ චණ්ඩි පිතිරඹයෙන් ශ්‍රී ලංකාවට ජය
විස්සයි-20 තරගාවලිය

චමරිගේ චණ්ඩි පිතිරඹයෙන් ශ්‍රී ලංකාවට ජය

editorial - 2023 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිටියේ චණ්ඩි රැජින වන චමරි අතපත්තුගේ ප්‍රචණ්ඩකාරී පිතිහරඹය නිසා, කොළඹ පී. සරවනමුත්තු පිටියේදී අද (12 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කාන්තාවෝ, නවසීලන්ත කාන්තාවන් පරදවා විශිෂ්ට ජයක් අත්කර ගත්හ. ලකුණු 141 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කාන්තාවන් වෙනුවෙන් පන්දු 47 කදී නොදැවී ලකුණු 80 ක් ලබාගත් චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම (නොදැවී 49) කඩුලු 10 ක විශිෂ්ට ජයක් කරා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කැඳවාගෙන ගියහ.

මෙය විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී ශ්‍රී ලංකා කාන්තාවන් ලබාගත් පළමු වැනි කඩුලු 10 ජයග්‍රහණයයි. තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් නවසීලන්ත කාන්තාවන්ට තරගාවලියේ ජය හිමිවූ නමුත් ශ්‍රී ලංකා කාන්තාවෝ තමන්ගේ ගෞරවය රැකගත හැකි ජයක් තුන්වැනි තරගයේදී ලබාගත්හ.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා අතපත්තු පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තාය. නවසීලන්ත පිතිකාරිණියන් ලකුණු 140 කට සීමා කරමින් අගනා පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණවීර (15/3) සහ සුගන්ධිකා කුමාරි (23/2) දෙදෙනා තමන්ගේ ඕවර 8 ලකුණු 38 කට සීමා කරගත්හ.

ඉදිරිපෙළ පිතිකාරිණියන්ගේ පිතිහරඹය මත පන්දු 66 කින් ලකුණු 73 ක් ලබාගැනීමට සුසී බේට්ස් (37), ඇමීලියා කර් (14) සහ සොෆී ඩේවින්ට හැකිවූ නමුත් ඉනිමේ පසුකොටසේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයේ පාලනය සියතට ගත්හ. කඩුලු 6 ක් අතැතිව සිටි නවසීලන්ත පිතිකාරිණියන්ට අවසන් ඕවර 5 දී පන්දු 30 කින් ලබාගත හැකිවූයේ ලකුණු 36 ක් පමණි. මෙම පසුබෑම නිසා නවසීලන්ත කාන්තා ඉනිම ලකුණු 140 කට සීමා විය.

ගාල්ලේදී පැවැති එක්දින තරගාවලියේදී ශතක දෙකක් ලබාගත් නමුත් පළමු විස්සයි-20 තරග දෙකේදීම අසාර්ථක වූ චමරි අතපත්තු (0 සහ 2) තරගාවලියේ වාඩුව එක ඉනිමකින් ලබාගනිමින්, නවසීලන්ත පන්දු යවන්නියන් අන්ද මන්ද කළ පහර දීමක නිරත වූවාය. පන්දු 25 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරන විටත් අතපත්තුගේ ඉනිමට හතරේ පහර 10 ක් සහ හයේ පහරක් ඇතුළත්ව තිබිණ. නායිකාවට අනගි සහයෝගයක් දුන් හර්ෂිතා සමරවික්‍රම (නොදැවී 49) 15 වැනි ඕවරයේ පන්දු 4 කින් 3 ක්ම හතරේ සීමාවට යවමින් තරගය අවසන් කළාය.

තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව වශයෙන් චමරි අතපත්තු සම්මාන ලබද්දී, තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව වශයෙන් සුසී බේට්ස් සම්මාන දිනාගත්තාය.


නවසීලන්ත ක්‍රීඩිකාවෝ - ඕවර 20 කදී කඩුලු 9 ට 140 යි
(සුසී බේට්ස් 37, ඉසබෙලා ගේස් 13, ඇමීලියා කර් 14, සොෆී ඩේවින් 46, මැඩී ග්‍රීන් 10, සුගන්ධිකා කුමාරි 23/2, ඉනෝකා රණවීර 15/3)

ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 14.3 කදී කිසිවකු නොදැවී 143 යි
(හර්ෂිතා සමරවික්‍රම නොදැවී 49, චමරි අතපත්තු නොදැවී 80)

හර්ෂිතා සහ චමරි....


අදහස් (0)

චමරිගේ චණ්ඩි පිතිරඹයෙන් ශ්‍රී ලංකාවට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.