Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චමීර - ළහිරු එක්ව ඇෆ්ඝනිස්ථානය වනසති
3 වැනි එක්දින තරගය

චමීර - ළහිරු එක්ව ඇෆ්ඝනිස්ථානය වනසති

editorial - 2023 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වාර දෙකකදී පිතිකරුවන් අන්ද මන්ද කළ පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර (63/4) සහ ළහිරු කුමාර (29/2) ඇෆ්ඝනිස්තානු පිතිකරු ලයිස්තුවේ හොඳම හරිය විනාශ කර දැමූහ. පසුව පිතිකරු ලයිස්තුවේ අග කොටස සුද්ද කළ වනිඳු හසරංගත් (07/3) දායක වෙමින් හම්බන්තොටදී අද (07 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී කඩුලු 9 ක පහසු ජයක් කරා යාමට ශ්‍රී ලංකාවට මාවත විවර කර දුන්හ. ඕවර 34 ක් ඉතිරිව තිබියදී ලකුණු 120 ක් ලබාගත් පිතිකරුවෝ, තරග 3 කින් සමන්විත තරගාවලියේදී 2-1 ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්කර දුන්හ.

මෙවර තරගාවලියේදී තමන්ට බාර දුන් භූමිකාව වන ප්‍රහාරකයාගේ කාර්යය අකුරටම ඉටුකළ පැතුම් නිස්සංක පන්දු 34 කදී ලකුණු 51 ක් ලබාගත්තේ හතරේ පහර 8 ක් සහ හයේ පහර දෙකක් සිය ඉනිමට ඇතුළත් කරමිනි. දිමුත් කරුණාරත්න සමගින් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ පැතුම් නිස්සංක දැවී යන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට ලකුණු 33 ක් මෑතින් සිටියේය.

වසර දෙකකුත් මාස 3 කට පසුව එක්දින කණ්ඩායමට එක්වූ දිමුත් කරුණාරත්න, පළමු තරගයේදී අසාර්ථක වුවද ඉතිරි තරග දෙකේදී පිට පිටම අර්ධ ශතක ලබාගත්තේය. පන්දු 45 කින් නොදැවී ලකුණු 56 ක් ලබාගත් කරුණාරත්නගේ පිතිහරඹයට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම ඕවර 23 ක් ඇතුළතදී ලකුණු 116 කට දැවී ගියේය. පාදයේ වළලුකර ආබාධයක් හේතුවෙන් මාස 7 ක පමණ කාලයක් ජාතික කණ්ඩායමෙන් ඉවත්ව සිටි දුෂ්මන්ත චමීරගේ පන්දු යැවීම ඇෆ්ඝනිස්ථානුවන්ට මුහුණ දිය නොහැකි තරම් විය. පළමු එක්දින තරගයේදී කලව මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් ඕවර 4 ක් පමණක් යවා පිටියෙන් ඉවත් වූ ළහිරු කුමාර අද තරගයේදී දුෂ්මන්තට කදිම සහායකයකු වූයේය.

ඇෆ්ඝනිස්ථානු ඉනිමේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වූ මොහොමඩ් නබී, ලකුණු 23 ක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවන්ට ආ ගිය මං සොයාගත නොහැකි විය. තරගාවලිය ජයගැනීමට ඇෆ්ඝන් නායකයා තබා තිබූ බලාපොරොත්තු සියල්ලම දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ වනිඳු හසරංග හමුවේ දියවී ගියේය.

 


අදහස් (0)

චමීර - ළහිරු එක්ව ඇෆ්ඝනිස්ථානය වනසති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.