Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චාමර - නිලූක හෙට තරග බිමේ

චාමර - නිලූක හෙට තරග බිමේ

editorial - 2021 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සංජීව ධර්මසේන - ජපානයේ ටෝකියෝ නුවර සිට)

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ජූඩෝ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවක් වන චාමර නුවන් ධර්මවර්ධන මූලික වටයේ සහභාගිවන පළමු තරගය හෙට (26දා) පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙ.ව. 7.30 - පෙ.ව. 11.00 අතර පැවැත්වීමට නියමිතව ඇත.

කි.ග්‍රෑ. 73 බර පන්තියෙන් තරගවදින චාමරගේ ප්‍රතිවාදී ක්‍රීඩකයා වන්නේ ජිබුටි රාජ්‍යයේ ඒඩන් ඇලෙක්සෑන්ඩර්ය.

බැඩිමින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න ක්‍රීඩාකරන මූලික වටයේ දෙවැනි හා අවසන් තරගය හෙට (26දා) පැවැත්වෙන අතර, එහිදී ඔහු අයර්ලන්තයේ එන්. න්ගුයීන් සමගින් තරග වැදීමට නියමිතව ඇත. නිලූක සෙනසුරාදා පැවැති මූලික වටයේ පළමු තරගයට සහභාගි වූ අතර, එහිදී ඔහුට ලෝක ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ පසුවන චීන තායිපේ ක්‍රීඩක සූ-වෙයි වන්ග් හමුවේ තරග වට 2-0 ක පරාජයක් අත්විඳීමට සිදුවිය.

ලෝක ශ්‍රේණිගතකිරීම්හි 117 වැනි ස්ථානයේ පසුවන නිලූක, අදියර දෙකේදීම අවසන් භාගයේ ප්‍රතිවාදී සූ-වෙයිට දැඩි සටනක් දීමට සමත් විය. ඒ අනුව තරගය අවසන් වූයේ 21/12 ක් හා 21/15 ක් ලෙසිනි. කෙසේ නමුත් හෙට පැවැත්වෙන තරගය ජයගත්තද, නිලූකට දෙවැනි වටයට පිවිසීමට ඇති අවස්ථාව සීමා සහිතය.

අනීකා ගෆූර් සෙනසුරාදා පැවති මීටර 100 සමනළආර පිහිනුම් ඉසව්වට සහභාගි වූ අතර, ඇයටද ශ්‍රී ලංකාව වෙනුවේ සැලකිය යුතු දක්‍ෂතාවක් දැක්වීමට නොහැකි විය. මෙවර ශ්‍රී ලංකා ඔලිම්පික් සංචිතයේ සිටින ළාබාලම ක්‍රීඩිකාව වන 17 හැවිරිදි අනිකා ක්‍රීඩිකාවන් තිදෙනෙකු පමණක් ඇතුළත් වූ මූලික තරගයේ දෙවැනි ස්ථානය හිමිකරගත් නමුත් ඇය වාර්තාකළ කාලය අනුව අවසන් 16 දෙනා අතරට පිවිසීමට නොහැකි විය. ඇය සිය ඉසව්ව අවසන් කිරීමට මිනිත්තු 1:05.33 ක කාලයක් ගත කළාය. කෙසේ නමුත් මෙම ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන ඇය, එය පිහිටුවා ඇත්තේ මිනිත්තු 1:04.58ක දක්‍ෂතාවක් දක්වමිනි.

මෙම ඉසව්වට සහභාගි වූ ක්‍රීඩිකාවන් 33 දෙනෙකු අතරින් අනිකාට 32 වැනි ස්ථානය හිමිවිය. අනීකා තරග වැදි ඉසව්වට සරණාගත ඔලිම්පික් කණ්ඩායමේ කැපී පෙනෙනම සාමාජිකාව වන යුස්රා මර්ඩිනීද ඇතුළත් වූ අතර, ඇයට හිමිවූයේ අවසන් ස්ථානයයි.

 

(ඡායාරූප අනුග්‍රහය - ජාතික ඔලිම්පික් කමිටුව)


අදහස් (0)

චාමර - නිලූක හෙට තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.