Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චාමික මිලියනයක සල්ලි මල්ල දිනාගනී

චාමික මිලියනයක සල්ලි මල්ල දිනාගනී

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කන්දතැන්න  පල්ලමේ පාපැදිය පැදයාමේදී අභියෝග ලුහුබැඳ ගිය චාමික සඳුන් කුමාර දින පහක් පුරා පැවති ටෙලිකොම් - ස්පීඩ් අප් පාපැදි සවාරිය ජය ගනිමින් රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් හිමිකර ගැනීමට සමත් විය. 

 
එහි විශේෂත්වය වූයේ සමස්ත තරගයේ දෙවැනි ස්ථානයට පත් සන්ජු දීමන්ත හා සම කාලයක් වාර්තා කළත් අදියර තරග දක්‍ෂතා හමුවේ චාමික සඳුන් කුමාර මෙවර (2017) ටෙලිකොම් පාපැදි ශූරයා ලෙස ප්‍රකාශයට පත්වීමයි. දින පහක් පුරා අදියර හයකින් සමන්විතව මෙවර පැවති ටෙලිකොම් ස්පීඞ් අප් පාපැදි සවාරිය ඊයේ (29) ඇඹිලිපිටියෙන් නිමාවට පත්වන විට ගෙවා තිබූ මුළු දුර කිලෝමීටර් 739.3 කි.
 
එහෙත් එදින පැවති තරගයේ අවසන් අදියර ආරම්භය බදුල්ලේ සිට බණ්ඩාරවෙල දක්වා ඉදිරියට ගෙන ඒමෙන් මෙවර පාපැදි සවාරියේ කිලෝමීටර 765 ක් ලෙස කලින් ප්‍රකාශයට පත් කර සිටි මුළු දුර නියමිත ප්‍රමාණයට වඩා අඩු විය.
 
එම මුළු දුර ගෙවා දැමීමට තරගයේ ජයග්‍රාහකයා වූ චාමික සඳුන් කුමාර මෙන්ම දෙවැනි ස්ථානයට පත් සන්ජු දිමන්ත පැය 18 විනාඩි 23 තත්පර 20 ක් වන සම කාලයක් ගතකර තිබූ තත්ත්වය තුළ ඔවුන් අතර මෙවර තරගයේ අතිතියුණු තරගකාරීත්වය මනාව පිළිබිඹු විය.
 
කෙසේ වුවත් ජාතික පාපැදි පුහුණුකරු උපාලි රත්නායක මහතා ‘ලංකාදීප’යට පැවසුවේ මෙම තරගකරුවන් දෙදෙනාම එක් අදියරක් බැගින් ජයගෙන තිබූ බවත් සෙසු අදියර තරගවලදී සන්ජු දීමන්තට වඩා චාමික සඳුන් කුමාර මුල් පෙළේ ස්ථානවලට පත්ව තිබූ බැවින් අදියර ස්ථානවලදී ඔවුන් ලබාගත් ප්‍රසාද ලකුණු ගණනය කිරීමෙන් පසුව සමස්ත තරගයේ ජයග්‍රාහකයා ලෙස අවසානයේදී චාමික සඳුන් කුමාර නිර්දේශ කළ බවයි.
 
ගාලුමුවදොර පිටිය අසලින් පසුගිය අඟහරුවාදා (25) ආරම්භ වූ තරගයේ පළමු අදියර පුත්තලම කරා ළඟාවීමේදී ඒ සඳහා තරගකරුවෝ 110 ක් සහභාගි වූහ. කෙසේ වුවත් පෙරේදා ඇඹිලිපිටියෙන් අවසන් අදියර නිමාවට පත්වන විට තරගකරුවන් 61 දෙනකු සමස්ත තරගය අවසන් කිරීමට සමත්ව තිබුණි. ඒ අතර ගියවර ටෙලිකොම් පාපැදි සවාරියේ ශූරයා වූ නාවික හමුදා ක්‍රීඩක දර්ශන ප්‍රසාද්ට මෙවර අට වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදු විය.
 
මේ අතර සාෆ් රන් පදක්කම්ලාභි පාපැදි ක්‍රීඩක ජීවන් ජයසිංහට මෙවර තරගයේදී අත්වූයේ 35 වැනි ස්ථානයයි. ඒ පැය 18 විනාඩි 40 තත්ත්පර 08 කටය. ඔහු පසුගිය තරගයේ තෙවැනි ස්ථානයට පත් ක්‍රීඩකයායි. මෙම තරගයට ඉදිරිපත්වූ විශේෂඥ වෛද්‍යවරයකු වන 51 හැවිරිදි හර්ෂ ජයසුන්දර සමස්ත තරගය පෙරේදා ඇඹිලිපිටියෙන් නිමාවට පත් කළේ 57 වැනි ස්ථානයටය (පැය 19 විනාඩි, 12, තත්ත්පර 21) 
 
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙවරත් මෙම පාපැදි තරගය සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට අනුග්‍රහය දැක්වීය. ඔවුන් මෙවර පිරිමි හා කාන්තා තරග ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා රුපියල් මිලියන හතරකට ආසන්න මුදලක් බෙදා දුන්නේය.
 
දඹුල්ල හා බදුල්ල අතර සිව්වැනි අදියර තරගය පටන් ගැනීමේදී තරගකරුවන් පස් දෙනෙකු අනතුරුවලින් තුවාල ලබා රෝහල්ගත කිරීමට සිදුවීම කැපී පෙනුණි. 
 
ඒ අතර පොලිස් ක්‍රීඩා සමාජයේ කළමනාකරු ප්‍රධාන තරග කොමසාරිස් සුමිත් බාලසූරිය මහතාට පරුෂ වචනයෙන් බැණ වැදීමේ චෝදනාවට පසුව ඔහුට තරගය තහනම් කිරීමත්, වරාය, නාවික හමුදා හා දෙහිවල-ගල්කිස්ස යන ක්‍රීඩා සමාජ පසුගමන් ආධාරකරුවන් කීප දෙනකුට මුදලින් දඩ ගැසීමත් සිය පාපැදිය සෙසු තරගකරුවන්ට බාධා ගෙන දෙමින් හැසිරවීමේ චෝදනාවට එක් තරගකරුවකුට දඩ මුදලක් නියම කිරීමත් මෙවර ටෙලිකොම් පාපැදි සවාරියේ වූ තවත් සිදුවීම් කිහිපයකි. 
 
මෙම පාපැදි සවාරියේ ප්‍රධාන තරග අධ්‍යක්‍ෂ ලෙස ගුවන් කොමදෝරු සුජීවන් සේනාරත්න, ප්‍රධාන තරග විනිසුරු ලෙස වසන්තා කහපොලආරච්චි, දෙවැනි ප්‍රධාන විනිසුරු ලෙස උපුල් චන්දන, තෙවැනි විනිසුරු ලෙස මහේෂ් ධර්මසේන යන මහත්ම මහත්මීහු කටයුතු කළහ. ඒ අතර පාපැදි ප්‍රවීණයන් පිරිසකට මෙම පාපැදි සවාරිය ආරම්භයේ සිට අවසානය දක්වා නැරඹීමේ පහසුකම් පාපැදි සම්මේලනය සලසා දී තිබුණි. ඒ.එම්. සුමනවීර, ඇන්තනි සිමන්ස්, බී.ජේ. සුමන්සේකර, හේමපාල ගොඩගේ, උපාලි තාබෲ, බොනිපස් ප්‍රනාන්දු යන පාපැදි ප්‍රවීණයෝ එම මුළු තරගය නැරඹීමට එක්ව සිටියහ.

 

පස්වැනි (අවසන්) අදියර (බණ්ඩාරවෙල සිට ඇඹිලිපිටිය දක්වා කිලෝමීටර් 133.5) තරගයේ 10 වැනි ස්ථානය දක්වා පැමිණි තරගකරුවෝ:-
1. අවිෂ්ක මැඩොන්සා (නාවික හමුදාව - පැය 3:18.17) 
2. ප්‍රදීප් කුමාර (යුද හමුදාව - පැය 3:18.17) 
3. චතුර මධුෂාන් ද සිල්වා (දෙහිවල - ගල්කිස්ස - පැය 3:18.17) 
4. මධුක ෂෙහාන් පුෂ්පකුමාර (දෙහිවල - ගල්කිස්ස - පැය 3:18.17) 
5. සන්ජු දීමන්ත (ගුවන් හමුදාව - පැය 3:18.17) 
6. හේමන්ත කුමාර (නාවික හමුදාව - පැය 3:18.17) 
7. රවිඳු නිමන්ත (පොලිස් - පැය 3:18.17) 
8. චාමික සඳුන් කුමාර (ටෙලිකොම් - පැය 3:18.17) 
9. පසිඳු ලක්ෂාන් (නාවික හමුදාව - පැය 3:18.17) 
10. ප්‍රියන්ත විජේසිංහ (දෙහිවල - ගල්කිස්ස - පැය 3:18.17)
 
 
● සමස්ත තරගයේ (කිලෝමීටර් 739.3) 10 වැනි ස්ථානය දක්වා පැමිණි තරගකරුවෝ:-
 
1. චාමික සඳුන් කුමාර (ටෙලිකොම් පැය 18:23.20) 
2. සංජු දීමන්ත (ගුවන් හමුදාව - පැය 18:23.20) 
3. සී.එම්. විරාන් (වරාය - පැය 18:24.49) 
4. තුෂාන් රාජපක්ෂ (ගුවන් හමුදාව - පැය 18:24.54) 
5. සුවාරිස් ප්‍රේමචන්ද්‍ර (දෙහිවල - ගල්කිස්ස - පැය 18:25.16) 
6. ගීත් ද සිල්වා (නාවික හමුදාව - පැය 18:25.25) 
7. සම්පත් වීරසිංහ (ගුවන් හමුදාව - පැය 18:25.42) 
8. දර්ශන ප්‍රසාද් (නාවික හමුදාව - පැය 18:25.48) 
9. ප්‍රදීප් නිශාන්ත (ගුවන් හමුදාව - පැය 18:25.50) 
10. දිමුතු සංජීව (ගුවන් හමුදාව - පැය 18:26.18)
 
 
● කාන්තා තරගයේ (රත්නපුරය සිට ඇඹිලිපිටිය දක්වා කිලෝමීටර 72) 10 වැනි ස්ථානය දක්වා පැමිණි තරගකාරියෝ
1. සුධාරිකා ප්‍රියදර්ශනී (ගුවන් හමුදාව - පැය 2 විනාඩි 18 තත්ත්පර 29) 
2. දිනේෂා දිල්රුක්ෂි (ගුවන් හමුදාව - පැය 2:18.29) 
3. සුලෝචනා පංචාලි (ගුවන් හමුදාව - පැය 2:18.29) 
4. යූ.එන්.කේ. කුමාරසිංහ (යුද හමුදාව - පැය 2:18.29) 
5. නිරෝෂනී පෙරේරා (ගුවන් හමුදාව - පැය 2:18.29) 
6. නිලුකා ශ්‍යාමලී (සිවිල් ආරක්ෂක - පැය 2:18.29) 
7. මනෝමි කුමාරි (දෙහිඅත්තකණ්ඩිය ලිහිණි - පැය 2:18.29) 
8. ඩී.ඒ.අයි. නානායක්කාර (ගුවන් හමුදාව  - පැය 2:18.29) 
9. තිළිණි අප්සරා (නාවික හමුදාව - පැය 2:18.29) 
10. අයේෂා මධුෂානි (නාවික හමුදාව - පැය 218.29) 
 
● වේගවත්ම ක්‍රීඩිකාව - බී.ඒ.එස්. දිල්හානි (යුද හමුදාව)
● සමස්ත පිරිමි තරගයේ වේගවත්ම (ස්ප්‍රින්ට්) ධාවකයා තේරීමේ ඉසව්ව 
1. සන්ජු දීමන්ත (ගුවන් හමුදාව - ලකුණු 38) 
2. චාමික සඳුන් කුමාර (ටෙලිකොම් - ලකුණු 29) 
3. අවිෂ්ක මැඩොන්සා (නාවික හමුදාව - ලකුණු 17)
 
● සමස්ත පිරිමි තරගයේ කඳු නැගීමේ ශූරයා තේරීමේ ඉසව්ව 
1. සන්ජු දීමන්ත (ගුවන් හමුදාව - ලකුණු 31) 
2. දර්ශන ප්‍රසාද් (නාවික හමුදාව - ලකුණු 14) 
3. ප්‍රදීප් නිශාන්ත (නාවික හමුදාව - ලකුණු 12) 
 
● සමස්ත පිරිමි තරගයේ කණ්ඩායම් ශූරතාව
1. ගුවන් හමුදා කණ්ඩායම (පැය 18:23.47) 
2. යුද හමුදා කණ්ඩායම (පැය 18:24.00) 
3. නාවික හමුදා කණ්ඩායම (පැය 18:25.47) 
 
● වයස 23න් පහළ කාණ්ඩයේ ශූරයෝ 
1. සංජු දීමන්ත (ගුවන් හමුදාව - පැය 18:23.20) 
2. ගීත් ද සිල්වා (නාවික හමුදාව - පැය 18:25.25) 
3. සම්පත් වීරසිංහ (ගුවන් හමුදාව - පැය 18:25.42)
 


අදහස් (0)

චාමික මිලියනයක සල්ලි මල්ල දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.