Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චෙන්නායි පිල අවසන් වටයට
අයි.පී.එල්. - 2023

චෙන්නායි පිල අවසන් වටයට

editorial - 2023 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව දිල්ලිහිදී ඊයේ (20 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 77 ක පහසු ජයක් වාර්තා කරමින් අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී චෙන්නායි කණ්ඩායම ලැබූ 8 වැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග ලකුණු සටහනේ දෙවැනියා ලෙස මූලික වටය අවසන් කිරීමට චෙන්නායි කණ්ඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 224 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 146 ක් පමණි. හුදෙකලා සටනක නිරත වූ නායක ඩේවිඩ් වෝනර් පන්දු 58 කදී හයේ පහර 5 ක් සහ හතරේ 7 ක් සමග ලකුණු 86 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගලවාගැනීමට නොහැකි විය. පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යෑමද දිල්ලි කණ්ඩායමට විශාල පාඩුවක් විය. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ දීපක් චාහර් සිය ඕවර 4 ලකුණු 22 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් බිඳහෙළමින් දිල්ලි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහරි කිරීම සඳහා චාහර්ට අනගි සහායක් දුන්හ. එහිදී අයි.පී.එල්. ඉතිහාසයේ ඉනිමක අවසන් ඕවරය කඩුලු 2 ක්ද දවාගනිමින් නිලකුණු ඕවරයක් බවට පත් කළ පළමු පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්වීමටද තීක්ෂණ සමත් විය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 223 ක් ලබාගත් අතර එහිදී අර්ධ ශතක ලබාගැනීමට ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ රුතුරාජ් ගයික්වාද් (79) සහ ඩෙවෝන් කොන්වේ (87) සමත් වූහ. ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 87 කදී ලකුණු 141 ක සම්බන්ධතාවක් ගොඩගැනීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ. 

පන්දු 50 කට මුහුණදුන් ගයික්වාද් හයේ පහර 7 කින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය ඉනිම අතර පන්දු 52 කදී වාර්තා වූ කොන්වේගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 11 කින්ද සමන්විත විය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී ශිවම් ඩූබේ හයේ පහර 3 ක් සමග පන්දු 9 කින් ලකුණු 22 ක්ද, රවින්ද්‍ර ජදේජා හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 20 ක්ද රැස්කරමින් චෙන්නායි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 

චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 කට 223
(රුතුරාජ් ගයික්වාද් 79, ඩෙවෝන් කොන්වේ 87, ශිවම් ඩූබේ 22, රවින්ද්‍ර ජදේජා නොදැවී 20) 

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුපු 9 කට 146
(ඩේවිඩ් වෝනර් 86, අක්සර් පටේල් 15, දීපක් චාහර් 22/3, මතීෂ පතිරණ 22/2, මහීෂ් තීක්ෂණ 23/2) 

-036  
 


අදහස් (0)

චෙන්නායි පිල අවසන් වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.