Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ සිවුවැනි දිනය වූ අද (22) පස්වරුවේ බර ඉසිලීමේ පිරිමි ඉසව්වට සහභාගි වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා ද්විත්ව පදක්කම් ලාභී චින්තන විදානගේ අසාර්ථක වීමෙන් බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.
මෙම ක‍්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලියේ ‘සී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන පුබුදු කුමාර සහ අසංක ප‍්‍රදීප් කුමාර අද (22) පස්වරුවේ පැවැති තරගයේදී වට 2-1 කින් ඇෆ්ගනිස්තාන් ක‍්‍රීඩකයන් වන එෆ්. අයි. පර්ඞීස් සහ මොහොමඞ් ෂාහීර් පරාජය කිරීමට සමත් වූහ.
එහිදී පළමු වටය අෆ්ගනිස්තානු ක‍්‍රීඩකයන් 21-19 කින් ජය ලැබුව ද පුබුදු සහ අසංක දෙවැනි සහ තෙවැනි වට 21-17 ක් සහ 15-10 ක් ලෙස ජය ලැබීමට සමත් වූහ.
මෙම ක‍්‍රීඩා උළෙල වෙනුවෙන්ම ඉදිකළ ඉංචියොන් බර ඉසිලීමේ මධ්‍යස්ථානයේදී කිලෝග‍්‍රෑම් 69 බර පංතිය නියෝජනය කළ චින්තන, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයේ අවස්ථා තුනේම අසාර්ථක වීමෙන් සමස්ත තරග ප‍්‍රතිඵලයට ඇතුළත් නොවූ ක‍්‍රීඩකයකු ලෙස සටහන් විය.
මෙහිදී චින්තන ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 122 ක් සහ 126 ක් එසවූ අතර එහි තෙවැනි අවස්ථාවේදී කිලෝග‍්‍රෑම් 128 ක් එසවීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.
චින්තන ‘බී’ කාණ්ඩයෙන් ක‍්‍රීඩා කළ අතර පදක්කමක් දිනා ගැනීමට නම් ඔහුට වැඩි බර ප‍්‍රමාණයකට යෑමට සිදුවූ අතර ඒ අනුව ස්නැච් ක‍්‍රමය කිලෝග‍්‍රෑම් 120 කින් ආරම්භ කිරීමට සැළසුම්කර සිටි චින්තන අවසන් මොහොතේ එය 122 ක් දක්වා වැඩි කළේය. ස්නැච් වටය අවසන් වන විට චින්තන ‘බී’ කාණ්ඩයේ 11 අතරින් තෙවැනි ස්ථානයේ පසු විය.
චින්තන ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමය කිලෝග‍්‍රෑම් 160 කින් ආරම්භ කළ අතර අවස්ථා තුනේදීම බර උරහිසට ගත්ත ද ඔසවා ගැනීමට නොහැකි විය.
චින්තන එම කිලෝග‍්‍රෑම් 160 ක බර එසවුවද මුඵ බර ප‍්‍රමාණය 286 ක් පමණක් වන අතර එය පදක්කමක් දිනා ගැනීමේ ප‍්‍රමාණයක් නොවේ.
මෙහි කැපී පෙනෙන සිද්ධිය වන්නේ ‘බී’ කාණ්ඩයේ ස්නැච් ක‍්‍රමයේදී කිලෝග‍්‍රෑම් 140 ක් ඔසවමින් පළමු ස්ථානයට පත්වූ චීන තායිපේ ක‍්‍රීඩක චින් හුග් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයේදී කිලෝග‍්‍රෑම් 170 ක් එසවීමට යෑමෙන් ආසාර්ථක වීමයි.
කසකස්තාන් ක‍්‍රීඩක එම්. ඇලෙක්සැන්ඩර් කිලෝග‍්‍රෑම් 297 ක් (136 සහ 161) ඔසවමින් ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකර ගත්තේය.
එහි ‘ඒ’ කාණ්ඩයේ කිලෝග‍්‍රෑම් 300 ක් ඉක්මවා එසවූ ක‍්‍රීඩකයන් 11 ක් පමණ තරගයට සහභාගි වීමට නියමිතව සිටි අතර ඒ අනුව ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානය ලැබූ ක‍්‍රීඩකයාට ද පදක්කමක් නොලැබෙන තත්ත්වයක් තිබුණි.
තරගය අවසන් වීමෙන් පසුව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ චින්තන පැවසුවේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල සහ මෙම ක‍්‍රීඩා උළෙල ආසන්න කාලයේ පැවැත්වීම නිසා තමන් වෙහෙසට පත්ව සිටින බවත් ප‍්‍රබල ජාත්‍යන්තර ක‍්‍රීඩකයන් සමග මුසුවීමේ බලාපොරොත්තුවෙන් මෙම ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ බවත්ය.
”මට මොකක් වුණාද කියලා මටත් හිතාගන්න බෑ. ස්නැච් ක‍්‍රමයේදී සාර්ථක වුණා. නමුත් ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයේ මට ඔසවා ගන්න බැරි වුණා. ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කළ නිසා මට වැඩි බරකට යන්න වුණා. පළමු අවස්ථාව 165 කින් හෝ 164 කින් ආරම්භ කරන්න හිටියේ නමුත් 160 න් ආරම්භ කර බැලූවා. මම දැන් වෙහෙසට පත්වෙලා ඉන්නේ, ටික කාලයක් විවේකය අරගෙන පුහුණුවීම් ආරම්භ කරනවා”
”මම මේ තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 77 බර පංතිය නියෝජනය කරන්න බලාපොරොත්තු වුණා. නමුත් එහි තරගකාරිත්වය වැඩි බව තේරුණු නිසා නැවත 69 බර පංතියේ ක‍්‍රීඩා කිරීමට තීරණය කළා. මගේ ඉලක්කය ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමයි. එයට කිලෝග‍්‍රෑම් 300 ට වඩා එසවිය යුතුයි. ඉදිරි ලෝක ශූරතා තරගාවලි දෙකේදී උත්සහ කරනවා” යැයි චින්තන වැඩි දුරටත් පැවසීය.
ග්ලාස්ගෝ නුවරදී පසුගිය මස පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේදී චින්තන ඔසවන බර ප‍්‍රමාණය අවසන් මොහොතේ වැඩි කිරීමෙන් අසාර්ථක ක‍්‍රීඩක ලැයිස්තුවට වැටුණු අතර එහිදී ඔහු ශරීර බර අඩු කර ගැනීමට දින කීපයක් ආහාර ගැනීමෙන් වැලකී සිටිමෙන් දුර්වල වූ බවට චෝදනා එල්ල විය.
ශ‍්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ වෙරළ වොලිබෝල් ක‍්‍රීඩකයන් දෙපළ වන ජූඞ් මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල ප‍්‍රබල කටාර් ක‍්‍රීඩකයන් හමුවේ 2-0 කින් ඊයේ පස්වරුවේ පරාජය වූහ. එහි ලකුණු පුවරුව 21-19 ක් සහ 21-15 ක් ලෙස සටහන් විය.
පළමු තරගයේදී කාම්බෝජය පරාජය කළ ජූඞ් මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල සහභාගි වන පළමු වටයේ අවසන් තරගය හෙට (24) පස්වරු 2.00 ට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන අතර එම තරගයෙන් ජය ලැබුවහොත් දෙවැනි වටයට පැමිණීමේ අවස්ථාව උදාවේ.
පුබුදු කුමාර සහ අසංක ප‍්‍රදීප් කුමාර සහභාගි වන පළමු වටයේ අවසන් තරගය හෙට (24) පස්වරු 3.00 ට චීනයට එරෙහිව පැවැත්වේ.
අද (23) මෙම ක‍්‍රීඩා උළෙලේ පස්වැනි දිනයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.