Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් විමර්ශනයක්

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් විමර්ශනයක්

editorial - 2023 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(නාමල් පතිරගේ)

ජූලි 8 වැනිදා පැවැති ආසියානු ඔලිම්පික් සභාවේ මතභේදාත්මක නිලවරණයේ ඡන්ද විමසුමට ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා අනිසි ආකාරයෙන් බලපෑමක් කර තිබේද යන්න පිළිබඳ මේ වනවිට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආචාරධර්ම කමිටුවේ දැඩි පරීක්‍ෂාවට ලක්වෙමින් තිබෙන බව වාර්තාවේ.

අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව විසින් තහනමට ලක් කර තිබෙන එහි හිටපු නිලධාරියෙකු වන කුවේට් ජාතික ෂෙයික් අහමඩ් අල් ෆහඩ් අල් සබා මහතා සමග තායිලන්තයේ බැංකොක් නුවර හෝටලයක කාමරයක දී මැක්ස්වෙල් ද සිල්වා මහතා කළ බව කියන රහස් සාකච්ඡාවක් හෝටලයේ ආරක්‍ෂිත කැමරාවල සටහන්වීමෙන් පසුව මෙම ආන්දෝලනාත්මක සිදුවීම ගැන වාර්තා වේ.

ජූලි 8 වැනිදා පැවැති නිලවරණයට දිනකට පෙර දෙදෙනා අතර මෙම රහසිගත හමුව සිදුව ඇතැයි වාර්තා වේ. හෝටලයේ ආරක්ෂිත කැමරාවල පටිගත කිරීම් මේ වනවිට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ආසියානු ඔලිම්පික් සභාවට යොමුකර තිබේ.

එදින පැවැති මතභේදාත්මක නිලවරණයේ දී සභාපති ධුරයට පත් කුවේට් ජාතික ෂෙයික් තලාල් පහඩ් අල් අහමඩ් අල් සබා මහතාට සහය ලබාගැනීම සඳහා ඔහුගේ සොහොයුරා වන අදාළ තහනමට ලක්වූ නිලධාරියා පෞද්ගලික ජෙට් යානයකින් බැංකොක් නුවරට ළඟාවී ඡන්දය හිමි සාමාජික රටවලට බලපෑම් කළ බවට චෝදනා නැගී තිබේ.  ඔහු හමුවීමෙන් වළකින ලෙස අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව නිලවරණයට සහභාගී වන රටවල නියෝජිතයන්ට දැනුම් දී තිබිය දී ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් අරබයා මෙම ගැටලුව නිර්මාණය වී තිබේ.

මැක්ස්වෙල් ද සිල්වා මහතා බැංකොක් නුවර දී මුණගැසුණු බව කියන මීට පෙර කුවේට් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය ද දරා තිබෙන තහනමට ලක්වූ නිලධාරියාගේ බැංකොක් සංචාරය ආසියානු ඔලිම්පික් සභාවේ පැවැති නිලවරණ ක්‍රියාවලියට ඍජුවම කළ අනිසි බලපෑමක් බවට මේ වනවිට අන්තර් ජාතික ඔලිම්පික් සභාව ඔහුට චෝදනා නගා තිබේ.  දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට මීට පෙර එම සභාව වසර තුනක තහනමක් පනවා තිබේ.

කෙසේ වුවත් ජූලි 8 වැනිදා පැවැති නිලවරණයේදී ඔහුගේ සොහොයුරා වන ෂෙයික් තලාල් වැඩි ඡන්ද හතරකින් ආසියානු ඔලිම්පික් සභාවේ සභාපති ධුරයට පත්වීමට සමත් විය. එහෙත් එම ඡන්ද ප්‍රතිඵලය තාවකාලිකව අත්හිටුවා තිබෙන අතර ඔහු ඉවත් කරමින් එහි වැඩ බැලීම සඳහා රන්දීර් සිංග් මහතා පත් කර තිබේ.

මෙම චෝදනාව එල්ල වන අතරවාරයේදී මැක්ස්වෙල් ද සිල්වා මහතා පෙරේදා (1) ට්‍රිනිඩැඩ් හා ටුබැගෝ හිදී ආරම්භ වූ පොදු රාජ්‍ය මණ්ඩලිය යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය බව වාර්තාවේ. මෙම ක්‍රීඩා උළෙල අගෝස්තු 11 වැනිදා දක්වා එහිදී පැවැත්වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට මැක්ස්වෙල් ද සිල්වා මහතා දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහයන් සාර්ථක නොවීය.

සිය මහලේකම්වරයාට එල්ල වී තිබෙන චෝදනාව ගැන ‘ලංකාදීප’ය කළ විමසුමක දී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවසුවේ මෙතෙක් ශ්‍රී ලංකාවට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවෙන් හෝ ආසියානු ඔලිම්පික් සභාවෙන් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුවත් කිරීමක් කර නැති බවයි.

කෙසේ වුවත් නිල නොවන ආරංචිමාර්ග සඳහන් කරන්නේ මැක්ස්වෙල් ද සිල්වා මහතාට ශ්‍රී ලංකාවේ තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ආසියානු ඔලිම්පික් කමිටුව බලපෑම් කර ඇති බවයි.

මේ වනවිට 69 හැවිරිදි වියේ පසුවන මැක්ස්වෙල් සිල්වා මහතා වසර 20කට ආසන්න කාලයක් තිස්සේ ඔලිම්පික් කමිටුවේ තනතුරුවල කල් ගෙවයි. ඔහු එහි මහ ලේකම් ධුරයට දැන් පත්ව සිටින්නේ තෙවැනි වතාවටය. වාර්තා වන පරිදි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාගේ නියමයෙන් මැක්ස්වෙල් ද සිල්වා මහතාට එල්ලවී තිබෙන චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තාවේ.


අදහස් (0)

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.