Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික දැල්පන්දු ශූරතාව හැටන් නැෂනල් බැංකුවට

ජාතික දැල්පන්දු ශූරතාව හැටන් නැෂනල් බැංකුවට

editorial - 2023 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

17ත් වතාවක් ජාතික දැල්පන්දු කුසලාන දිනාගත් හැටන් නැෂනල් බැංකු ක්‍රීඩා සමාජයේ 2022 කණ්ඩායම.

(නාමල් පතිරගේ)

ජාතික දැල්පන්දු තරගාවලියේ (2022) පිට පිටම සිවුවැනි වතාවටත් දිනාගත් හැටන් නැෂනල් බැංකු ක්‍රීඩිකාවෝ 17 වැනි වතාවටත් ජාතික දැල්පන්දු කුසලාන සතු කර ගැනීමට සමත් වූහ. කොළඹ ටොරින්ටන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක්‍රීඩාංගනයේ දී අද (13) දහවල් පැවති අවසන් මහ තරගයේ දී ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 44-29කට පරාජය කිරීමට එහිදී හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමත් විය.

ලකුණු 18/19 – 10/02 – 8/8 හා 8-10 ක් ලෙස පළමු වට දෙක ඔවුන් ඉදිරියෙන් පසු වෙමින් මෙම දස්කම දැක්වූහ.

කණ්ඩායම් 33 කගේ සහභාගිත්වයෙන් තෙදිනක් පුරා පැවති 2022 ජාතික දැල්පන්දු ශූරතා තරගාවලිය ඊයේ පැවති තෙවැනි ස්ථානය තේරීම් තරගය ජය ගත්තේ නාවික හමුදා කණ්ඩායම විසිනි. එහිදී ලකුණු 66-52 කින් යුද හමුදා ක්‍රීඩිකාවෝ ඔවුන්ට පරාජය වූහ.

ජාතික කණ්ඩායම් ක්‍රීඩිකාවන් පිරිසක්ද ඇතුළත් ප්‍රබල හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට එරෙහිව අවසන් තරගයේ අග භාගයේ දී තියුණු සටනක් දීමට ගුවන් හමුදා කණ්ඩායම සමත්වීම කැපී පෙනුණි. එහිදී තෙවැනි වටය සම වන අතර සිව්වැනි (අවසන්) වටය ජය ගැනීමට ද ඔවුන් සමත් වූහ.

ජයග්‍රාහී හැටන් නැෂනල් බැංකු කණ්ඩායම් පුහුණුකාරිනී ෂශිකා සමරසිංහ මහත්මිය එම කණ්ඩායමේ වසර 16ක් පුරා ක්‍රීඩිකාවක් ලෙස ක්‍රීඩා කරමින් වසර 2016 සිට එහි නිත්‍ය පුහුණුකරු ලෙස කටයුතු කරන්නීය.

මෙම අවසන් මහ තරගය බුද්ධික සූරියබන්ඩාර, එරංග සිතාර යන මහත්වරුන් ද තෙවැනි ස්ථානය තේරීම් තරගය ශිරන්ති රාජපක්ෂ හා නිමාල් කුෂාන්ති යන මහත්මීන්ද විනිශ්චය කළහ.

මෙවර දැල්පන්දු රැජිනිය වෙමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ජාතික කණ්ඩාමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක්ද වන ගයනි දිසානායකයි.

දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව ලෙස හසංජලී අමරවංශත්, දක්ෂතම පන්දු රකින්නිය ලෙස මල්මි හෙට්ටිආරච්චිත් හා දක්ෂතම පන්දු විදින්නිය ලෙස උමයංගනී ද සොයිසාත් ශූරතා සම්මාන ලැබූහ.

ජාතික දැල්පන්දු තේරීම් කමිටුවේ සභාපතිනි දමයන්ති ජයතිලක මහත්මිය පැවසුවේ මෙවර ජාතික තරගාවලියේ දක්ෂතා දැක්වූ නවක ක්‍රීඩිකාවන් කීප දෙනෙකු කෙරෙහි සිය කමිටුව අවධානය යොමුකර ඇති බවයි.
ලබන මාර්තු 17 වැනිදා පැවැත්වීමට නියමිත ජාතික දැල්පන්දු සංචිතයේ දෙවැනි තේරීම් පරීක්ෂණය සඳහා ඔවුන්ගේ කැමැත්ත අනුව කැඳවීමට අපේක්ෂා කරන බවත් එහිදී ඇය පැවසුවාය.

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය කණ්ඩායම් 33 කගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය සංවිධානය කර තිබුණි. ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහ තරගය පසුව එළිමහන් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සිදුවූයේ අනුග්‍රාහකයන්ගේ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් උද්ගතවූ ප්‍රශ්නයක් නිසා බවද වාර්තාවේ.

(ඡායාරූපය - ළහිරු හර්ෂණ)


අදහස් (0)

ජාතික දැල්පන්දු ශූරතාව හැටන් නැෂනල් බැංකුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.