Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික පුහුණුකරු තනතුර තාවකාලිකව ජයසූරියට

ජාතික පුහුණුකරු තනතුර තාවකාලිකව ජයසූරියට

editorial - 2024 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(චම්පික ප්‍රනාන්දු)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රිස් සිල්වර්වුඞ් මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්වූ ජාතික පුහුණුකරු තනතුරට සුදුස්සෙක් සොයමින් සිටී. සුදුසු පුහුණුකරුවකු සොයාගන්නා තුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරුවා වශයෙන් සනත් ජයසූරිය මහතා පත්කරනු ලැබ ඇත. 

ඉන්දීය පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින තරගාවලියේදී සහ එංගලන්ත පිලට එරෙහිව එංගලන්තයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදීත් සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් තාවකාලික පදනමක් මත කටයුතු කරනු ඇත. 

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී, වසරක කාලයක් සඳහා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයකු වශයෙන් සනත් ජයසූරිය මහතා පත්කරන ලදි. ඔහුගේ රාජකාරිය වූයේ කොළඹ අර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දස්කම් මධ්‍යස්ථානයේ සිට ක්‍රීඩකයන්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේත් ක්‍රියාකාරකම් අධීක්‍ෂණය කිරීමයි. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදයේදී සහ කොදෙව් දූපත් සමූහයේදී පසුගියදා පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයකු ලෙසින් ද සනත් ජයසූරිය මහතා කටයුතු කළේය. 

හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඞ් මහතාගේ සේවා කාලය පසුගිය අප්‍රේල් මාසයේදී අවසන් විය. එහෙත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සහ එංගලන්ත සංචාරය පිළිබඳ අවධානය යොමුකළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී පැවැත්වෙන එංගලන්ත සංචාරය දක්වාම සිල්වර්වුඞ් මහතාගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කළේය. 

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි ලෙස අසාර්ථක වූ අතර ශ්‍රී ලංකා පිල ජයගත්තේ එක තරගයක් පමණි. ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි සිල්වර්වුඞ් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේය. සිල්වර්වුඞ් මහතා ඉල්ලා අස්වීමට පැය 24 කට පොරතුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතාත් ඉල්ලා අස්වූයේය. 

පුහුණුකරුවකු වශයෙන් සනත් ජයසූරිය මහතාට අත්දැකීම් නැති නමුත් තේරීම් කමිටු නිලධාරියකු වශයෙන් ඔහු අවස්ථා ගණනාවකදීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට විශාල දායකත්වයක් දී තිබේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ අන්තර්ජාතික තරගාවලිය වන්නේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලි දෙකකි. ඉන් අනතුරුව එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී පැවැත්වෙන ටෙස්ට් තරග 3 කින් සමන්විත තරගාවලියකි. ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලිය අගෝස්තු මස 21 වැනිදා මැන්චෙස්ටර් නුවරදී ආරම්භ වෙයි. 

ටෙස්ට් තරගාවලියට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ටෙස්ට් ක්‍රීඩකයන් කිහිප දෙනකු අගෝස්තු මස මුල් සතියේදී එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය. දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, නිශාන් මධුෂ්ක, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය සහ ඇන්ජලෝ මැතිව්ස් වේලාසනින්ම එංගලන්තය බලා යන ක්‍රීඩකයන් අතර සිටිති. 


අදහස් (1)

ජාතික පුහුණුකරු තනතුර තාවකාලිකව ජයසූරියට
  • ratnayake Sunday, 07 July 2024 07:15 PM

    සුබපැතුම්..!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.