Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය 21 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව හඹායමින් සිටින සර්බියාවේ නොවැක් ජොකොවික් හෙට (11 වැනිදා) ඇමරිකානු විවෘත ශූරතාවලියේ අවසන් පූර්ව වටයේදී ජර්මනියේ ඇලෙක්සැන්ඩර් සරෙව්ට එරෙහිව තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි. ජොකොවික් මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන අතර සරෙව් එහි සිව්වැනි ස්ථානයේ රැදී සිටියි.
ඔවුන් දෙදෙනා අවසන් වරට එක්නෙකාට එරෙහිව තරග වැදුණේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේදීය. එහි පිරිමි කේවල අවසන් පූර්ව වටයේදී ජොකොවික් පරාජය කළ සරෙව්, එම ඉසව්වේ රන් පදක්කමද දිනාගත්තේය. එම පරාජයෙන් පසුව ඔලිම්පික් උළෙලේ යුගල ඉසව්වෙන්ද ඉවත් වූ ජොකොවික්, කෙටි විවේකයක් ලබාගැනීමෙන් පසුව ඇමරිකානු විවෘත ශූරතාවලියට සහභාගි වීමට තීරණය කළේය.
ඇමරිකානු විවෘත ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී වට 3-1 ක් ලෙස (5/7, 6/2, 6/2, 6/3) ඉතාලියේ මැතියෝ බෙරෙටීනි පරාජය කරමින් ජොකොවික් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ඇලෙක්සැන්ඩර් සරෙව් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවේ අර්ධ අවසන් පූර්ව වටයේදී වට 3-0 ක් ලෙස දකුණු අප්‍රිකාවේ ලොයිඩ් හැරිස් පරාජය කරමිනි.
"මෙම වසරේ දැවැන්තම තරගයේදී ජොකොවික් පරාජය කළ ක්‍රීඩකයා මම කියා මට හිතෙනවා. මේ වසරේදී කිසිවෙකුට ඔහු පරාජය කිරීමට බැරි වුණා විශේෂයෙන්ම ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලිවලදී. එත් මට පුලුවන් වුණා ඔලිම්පික් උළෙලේදී ඔහුව පරාජය කරන්න. එය මගෙ ක්‍රීඩා ජීවිතයේ සුවිශේෂී තරගයක්" යැයි සරෙව් පැවැසීය.
"ඔහු ක්‍රීඩා කරන ආකාරය මම හොඳින් දන්නවා. ටෝකියෝ නුවරදී අපි අතර ඉතා තියුණු තරගයක් පැවැත්වුණා. ඔහු ලොව දක්ෂතම ක්‍රීඩකයන් අතරින් කෙනෙක්. නමුත් අභියෝගය විශාල වන තරමටම එය ජයගැනීමෙන් ලැබෙන කීර්තියත් විශාලයි." යැයි ජොකොවික් කියා සිටියේය.
මෙම වසරේදී මෙතෙක් පැවැති ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලි 3 න්ම (ඕස්ට්‍රේලියානු, ප්‍රංශ සහ විම්බල්ඩන්) ජය ලැබූ ජොකොවික්, මෙම ශූරතාවලියද ජයගැනීමට සමත් වුවහොත් වසර 52 කට පසු එක් වසරක් තුළ පැවැති ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලි 4 ම ජයගත් ක්‍රීඩකයා බවට ඔහු පත්වනු ඇත. මින් පෙර එවන් හපන්කමක් කළේ 1969 වසරේදී ඕස්ට්‍රේලියාවේ රොඩ් ලීවර්ය.
ඇමරිකානු විවෘත ශූරතා 3 ක් සමගින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා 20 ක් දිනා සිටින ජොකොවික්, මෙවර ඇමරිකානු විවෘත ශූරතාවද දිනාගැනීමට සමත් වුවහොත්, ඔහුට එදා මෙදා තුර ටෙනිස් ඉතිහාසයේ වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩකයා බවට පත්වීමේ අවස්ථාවද හිමිවනු ඇත. මේ වන විට ඔහු ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමග සම තත්ත්වයේ පසුවේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.