Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජොනී මේ එංගලන්තය දිනවයි

ජොනී මේ එංගලන්තය දිනවයි

Nisanka Sandeepani - 2018 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


පළමු භාගයේදී වින්ගර් ක්‍රීඩක ජොනී මේ තැබූ විශිෂ්ට උත්සාහක දිනුම් ද්විත්වය නිසා සයකොන් රග්බි ශූරතාවලියේ වේල්සයට එරෙහිව ඊයේ බටහිර ලන්ඩනයේ ට්වීකන්හැම් පිටියේ පැවැති තරගයෙන් ලකුණු 12-6 ක සටන්කාමී ජයග්‍රහණයකට හිමිකම් කීමට එංගලන්තය සමත්විය. 

අධික ශීතල දිනයක් වූ ඊයේ තමන්ට ලැබුණු අවස්ථාවෙන් කදිම වාසියක් අත්කර ගත් එංගලන්ත කණ්ඩායම ප්‍රතිවාදී සීමා ඉර දෙවතාවේදීම පැනීම නිසා සය කොන් රග්බි තරග ඉතිහාසයේ සිය භූමිය තුළ පිට පිට 15 වැනි වරටත් අපරාජිතභාවය රැක ගැනීමට වාසනාව ලැබුවේය. 

වේල්සය අන්දමන්ද කරමින් තරගයේ තුන්වැනි මිනිත්තුවේදී ජොනී මේ මෙවර තරගාවලියේ සිය පළමු උත්සාහක දිනුම තැබුවේ ඕවන් ෆැරල් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගෙන් තොරවූ ස්ථානයක් සොයා ඉහළින් එල්ල කළ පන්දුව වෙත සාර්ථකව අවතීර්ණ වෙමිනි. ඔහුගේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා වූයේ 20 වැනි මිනිත්තුවේදීය. එය සිදුවූයේ ඕවන් ෆැරල් විසින් ජෝ ලොන්ච්බරිට  පිරිනමනු ලැබූ පන්දුව උකුසු ඇස් ඇති වේල්සයේ ආරක්ෂක වළල්ලේ ක්‍රීඩකයන් අතරින් ජොනී මේට ලබාදීමට ලොන්ච්බරි සමත්වීම නිසාය. 

පළමු උත්සාහක දිනුමේ ඉලක්කය වැරදුණත් දෙවැන්න සාර්ථකව ප්‍රවර්තනය කිරිමට ඕවන් ෆැරල් සමත්වූ නිසා පළමු භාගය නිමාවනවිට ලකුණු 12-3 කින් පෙරමුණ ගැනීමට සත්කාරකයෝ සමත්වූහ. වේල්සයට ලකුණු 3ක් ලැබුණේ 24 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහරක් රයිස් පැචෙල් විසින් සාර්ථක කරනු ලැබීමෙනි. 

මේ දඬුවම් පහර වේල්සයට ලැබුණේ මතභේදයට තුඩුදුන් සිදුවීමකින් පසුවය. ජොනී මේගේ උත්සාහක දිනුම් ද්විත්වය නිසා අනපේක්ෂිත පීඩනයකට හසුවී සිටි වේල්සයේ ගැරත් ඇන්ස්කොම්බේ පන්දුව සමග ප්‍රතිවාදී සීමා ඉර වෙත අවතීර්ණ වූ අවස්ථාවක ඇන්තනී වොට්සන්ගේ බාධා කිරීම නිසා පන්දුව ඔහු වෙතින් ගිලිහී ගියේය.

එහෙත් ඒ වෙද්දී එය ප්‍රතිවාදී සිමා ඉරට එපිටින් තැබීමට ඔහු සමත්වූවාදැයි යන්න දැනගැනීමට රූපවාහිනි තරග විනිසුරු වෙත යොමු කළ අතර එය ප්‍රතික්ෂේප වීමෙන් දඬුවම් පහරක් පමණක් ලබාදීමට තරග තීරකවරයා කටයුතු කළේය. 

දෙවැනි භාගයේදී එංගලන්ත පිල අබිබවා යාමේ දැඩි උත්සාහක නිරතවූ අතර හැකි සෑම උත්සාහයක්ම දරමින් තරගයේ වාසිය සියතට ගැනීමට වේල්සයේ ක්‍රීඩකයෝ හුස්මක් කටක් නැතිව ක්‍රීඩා කළහ. වේල්සයේ සටන්කාමී ක්‍රීඩා විලාශය හමුවේ සිය ජයග්‍රහණය රැක ගැනීමට එංගලන්ත පිලට දැඩි වෙහෙසක් ගැනිමට සිදුවී තිබිණි. 

දෙපිලටම ලකුණු අහේනියක් ඇති කරමින් ගලා ගිය දෙවැනි භාගය නිමාවීමට මිනිත්තු තුනකට පෙර රයිස් පැචෙල් පන්දුව සමග ප්‍රතිවාදී ඉර වෙත කඩා පැනිමට සමත්වූවත් ඊට පෙර පන්දුව ඔහු වෙතින් ගිලිහී ගිය බවට රූපවාහිනි තරග විනිසුරු පැවසීම හේතුවෙන් නැවතත් වේල්සයට සිදුවූයේ දඬුවම් පහරකින් පමණක් සෑහීමකට පත්වීමටය. 

දෙපිලේහිම ජයග්‍රහණ වෙනුවෙන් ඔල්වරසන් දුන් 82,000 කට අධික නරඹන්නන් මැද මේ සිදුවීම් දෙකම මතභේදයට තුඩුදුන් අතර තරගයෙන් පසුව එය වේල්සයේ පුහුණුකරුගේ දැඩි විවේචනයට ලක්විය.

- 077


අදහස් (0)

ජොනී මේ එංගලන්තය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.