Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටී. කප් සවාරියේ සංවිධානය කරුණාරත්නට පවරයි

ටී. කප් සවාරියේ සංවිධානය කරුණාරත්නට පවරයි

editorial - 2021 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර තුනක්ම එක දිගට අත්හිටුවීමට සිදුවූ ‘ටී - කප්’ පාපැදි සවාරිය ලබන වසරේදී පැවැත්වීමට අන්තර්ජාතික පාපැදි සම්මේලනයෙන් අවසර ලැබී තිබේ. මෙම තරගය 2022 වසරේ මැයි 20 – 21 – 23 යන දිනවල දී පැවැත්වීමට දැනට කටයුතු සංවිධානය කෙරෙමින් පවතී.

එහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව සත්කාරය දරන ‘ටී කප්’ පාපැදි සවාරිය ලබන වසරේදී සංවිධානය කිරීමේ හිමිකම ලැබී ඇත්තේ පාපැදි සම්මේලනයට නොව, අන්තර් ජාතික පාපැදි සම්මේලනය ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ලෙස තවදුරටත් පිළිගන්නා අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතාට වීමය.

දකුණු ආසියාවේ එකම මාර්ග ධාවන පාපැදි තරගාවලිය වන්නේ වසර 2017 දී ආරම්භ වූ ‘ටී - කප්’ පාපැදි සවාරියයි. අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ වාර්ෂික දින දර්ශනයට දකුණු ආසියාවෙන් ඇතුළත්ව තිබෙන තරගයද ‘ටී - කප්’ පාපැදි සවාරියයි

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති එච්.එල්. ක්‍රිෂාන්ත මහතා පැවසුවේ සිය විධායක සභාවේ පත්වීම් අන්තර් ජාතික පාපැදි සම්මේලනය තවදුරටත් පිළි නොගන්නා තත්ත්වයක් තුළ 2022 ‘ටී - කප්’ පාපැදි සවාරියේ මූලික සම්බන්ධීකරණ කටයුතුවලට තමන් මැදිහත් නොවූ බවයි.

‘‘ඉතා සුහදවම අපි ඒ කටයුත්ත කරුණාරත්න මහතාටම කරන්න ඉඩ හැරියා. මොකද ශ්‍රී ලංකාව සත්කාරය දරන මේ පාපැදි තරගය කඩාකප්පල් නොවෙන්න වග බලා ගන්නයි අපි සියලු දෙනාටම අවශ්‍ය වෙන්නේ’’ යැයි ද ක්‍රිෂාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

‘‘අන්තර් ජාතික පාපැදි සම්මේලනය ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිවයරා හැටියට තවදුරටත් පිළිගන්නෙ මාවයි. ඒ නිසා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඒ කටයුත්ත ඉටු කරන්න මෙරට අනුග්‍රාහකයන් ද දැනුවත් කරමින් මා මැදිහත් වුණා.’’ යයි කරුණාරත්න මහතා පැවසීය.

වසර 2019 තරගාවලිය එම වසරේ මැයි 10 – 11 සහ 12 යන දිනවල මීගමුවේ සිට පාසිකුඩා දක්වා අදියර තුනකින් (කිලෝමීටර 350) පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබිය දී අප්‍රේල් මාසයේ සිදු වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් අත්හිටුවනු ලැබිණ.  අනතුරුව වසර 2020 හා මෙම වසරට නියමිත 2021 සවාරිය ද කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.

මෙම පාපැදි සවාරිය අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ වාර්ෂික දින දර්ශනයෙන් ඉවත් කිරීමේ අනතුරකට මුහුණ දී සිටියදී 2022 තරගය සංවිධානය කිරීමේ වගකීම බාරගැනීමට ශ්‍රී ලංකාව මේ වනවිට සමත්ව සිටියි.

ලංකා ස්පෝට්ස්රයිසන් සමාගම ‘ටී-කප්‘ පාපැදි සවාරියට ආරම්භයේ සිට අනුග්‍රාහය ලබා දුන්නේය. දෙස් විදෙස් පාපැදි කණ්ඩායම් 18 ක් 2019 තරගාවලියට ලියාපදිංචිවී සිටියේය. 2019 තරගාවලියේ ජයග්‍රාහකයන්ට ඇමරිකානු ඩොලර් 25000 කට ආසන්න ත්‍යාග මුදලක් සූදානම් කර තිබුණි.

 

 


අදහස් (1)

ටී. කප් සවාරියේ සංවිධානය කරුණාරත්නට පවරයි
  • kumaresha Thursday, 19 August 2021 08:13 PM

    සුබපැතුම්...!!!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.