Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ටෙනිස් තේරීම් කමිටුවට ඔලිම්පික් කමිටුවෙන් චෝදනා

ටෙනිස් තේරීම් කමිටුවට ඔලිම්පික් කමිටුවෙන් චෝදනා

Nisanka Sandeepani - 2018 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ඇරඹීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායම තේරීමේදී ඇතිවී ඇතැයි පවසන අර්බුදකාරී තත්වයට මූලිකම හේතුව වී ඇත්තේ ටෙනිස් තේරීම් කමිටුවේ අදූරදර්ශී ක්‍රමවේදය බව ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීහු කියති. 

“උප සභාපතිගේ දියණිය නිර්දේශ කිරීමෙන් ඔලිම්පික් කමිටුව පඹගාලක පැටලෙයි” යනුවෙන් අගෝස්තු 10 වැනදා ලංකාදීප පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කරුණු පහදමින් ජාතික ඔලිම්පික් කමිටුවේ උසස් නිලධාරියෙක් එසේ පැවසීය. 

“මේ අයගේ වැඩ හින්දා අපටත් නිකරුනේ චෝදනා එල්ල වෙනවා” යයිද ඔලිම්පික් කමිටු නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

අනිකා සෙනෙවිරත්න ශ්‍රී ලංකාවේ දැනට සිටින අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව වේ. එහෙත් ආසියානු ක්‍රීඩා උළෙලට නම්කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්වැනි ක්‍රීඩිකාව ලෙස අනීකා නම්කරනු ලැබීමෙන් මෙම අර්බුදය නිර්මාණය වී තිබේ. 

16 හැවිරිදි අනීකා, කොළඹ කාන්තා විදුහල් ක්‍රීඩිකාවක් වන අතර ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම් අනුව 705 ස්ථානයේ සිටින්නීය. ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රසාද ලකුණු 1068 ක් හිමි ඇය පසුගිය අවුරුදු එකහමාරක කාලය තුළ ජාතික කණිෂ්ඨ හා ජ්‍යේෂ්ඨ තරඟ 13 ක් දිනාගනිමින් ශ්‍රේණිගත අංක 1 ස්ථානය හිමිකරගෙන සිටින්නීය. 

කෙසේ වෙතත් ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් පැවැති තේරීම් තරග සඳහා ඇය සහභාගි නොවූ හෙයින් ඇයට ඉදිරියෙන් කොළඹ බිෂොප්ස් විදුහලේ සචිනි ජයසූරිය සහ අංජලිකා කුරේරා තෝරාගනු ලැබිණ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනයෙන් කළ විමසීමකදී කියා සිටියේ තේරීම් තරග සඳහා අනීකා සෙනෙවිරත්න සහභාගි නොවන බවට දැනුම් දීමක් නොකළ බැවින් තේරීම් තරග වලදී අනීකාට එරෙහිව නිතරග ජය පිරිනැමුණු බවයි. 

ටෙනිස් තරගයක නිතරග ජයක් ප්‍රදානය කිරීමේදී විනාඩි 15 ක සහන කාලයක් තිබෙන නමුත් මෙහිදී විනාඩි 45 කට පසුව නිතරග ජය ප්‍රදානය කර ඇත්තේ තේරීම් කමිටු සභාපතිවරයා වන අර්ජුන් ප්‍රනාන්දු මහතාගේ පූර්ණ අනුමැතිය ඇතිව බවද ශ්‍රී ලංකා ටෙනිස් සංගම් ආරංචි මාර්ග වලින් කියැවේ. 

සචිනි සහ අනිකා අතර පසුගිය අවුරුදු දෙකක කාලය තුළ තරඟ 6 ක් පැවති අතර එම තරග සියල්ල ජයගෙන ඇති අනීකා මේ වසරේ පැවති ජාතික ශූරතාවලියේදීද සචිනි ජයසූරිය පරාජය කළාය. 

ජුනි 17 සහ 18 තේරීම් තරඟ වලට තරඟ වැදිය යුතු බව තේරීම් කමිටුව විසින් අනීකාට දන්වනු ලැබ තිබියදී, හදිසියේම ජුනි 14 සහ 15 දෙදින උදෑසන 11.00 ට තේරීම් තරඟ වලට එක්විය යුතු බව ඇයට දැන්වීමද ප්‍රශ්නයකි. දක්‍ෂ දැල්පන්දු ක්‍රීඩිකාවක වන අනිකා සෙනෙවිරත්න එම දින වකවානු වලදී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති අන්තර්ජාතික දැල්පන්දු තරඟාවලියේ ශ්‍රී ලංකා සංවර්ධිත පිළ වෙනුවෙන් තරඟ වදිමින් සිටියාය. මෙම දැනුම්දීම සම්බන්ධයෙන් අනීකාගේ පියා වන අසංග සෙනෙවිරත්න මහතා ටෙනිස් තේරීම් කමිටුව වෙත සිය අප්‍රසාදය පළකරයි. 

සංචාරයක් සඳහා අදාළ ක්‍රීඩා සංගමයෙන් ක්‍රීඩකයන් තේරූ විට ජාතික තේරීම් කමිටුව මඟින් අවසන් තේරීම් සම්බන්ධයෙන් කටයුතු කරන බව ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ විමසීමකදී ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පවසා සිටියේ සචිනි ජයසුරියගේ නම එක් කිරීමට තමන් ඉල්ලා සිටි බවයි. 

කෙසේ වුවත් නියමිත වේලාවට පසුව ක්‍රීඩිකාවකගේ නම එක් කිරීමට ගත් තීරණය නිසා ආසියානු ක්‍රීඩා උලෙලේ සංවිධායකයන් එම නම එක් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ පිළිබඳ අවසන් තීරණය බලාපොරොත්තුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු කරයි. 

ටෙනිස් තේරීම් කමිටුවේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් ජාතික තේරීම් කමිටුව ද නොමඟ යවා ඇතිකරනු ලැබු මෙම අර්බුදය සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුවටත් එහි උප සභාපති අසංග සෙනෙවිරත්න මහතා වෙතත් චෝදනා කිරීම පදනම් විරහිත බවත් ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

මේ අතර ශ්‍රී ලංකා ටෙනිස් තේරීම් කමිටුව ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගත් ආකාරය සම්බන්ධ තොරතුරු ඇතුළත් කරමින් ජාතික ඔලිම්පික් කමිටුව වෙත යවා ඇති ලිපියේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඝෘජුවම ඇතුළත් වීමට කිසිදු ක්‍රීඩිකාවක් සුදුසුකම් සපුරා නොමැති බවයි. ඊට හේතු ලෙස ඔවුන් එම ලිපියේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කිසිම ක්‍රීඩිකාවක් ලෝක ටෙනිස් ශේණිගත කිරීම්හි ස්ථානයක් ලබා නොසිටීමත්, ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලිවලදී කිසිදු ක්‍රීඩිකාවක් අපරාජිත වාර්තාවක් රැකගෙන නොසිටීමත්ය.

රොෂෙන්කා ප්‍රනාන්දු, තිසුරි මොල්ලිගොඩ සහ නෙත්මි වඩුගේ යන ක්‍රීඩිකාවන් සිය පෞද්ගලික හේතු මත තේරීම් තරගාවලියට සහභාගි නොවන බව තේරීම් කමිටුවට දැනුම්දී තිබුණ බව එම ලිපියේ සඳහන් වී තිබුනද, අනීකා සෙනෙවිරත්න එවැන්නක් දැනුම්දී තිබුණ බව එහි සඳහන්ව නොමැත.

ජාතික ඔලිම්පික් කමිටුව වෙත යැවූ ලිපියට ටෙනිස් තේරීම් කමිටුවේ සභාපති අර්ජුන් ප්‍රනාන්දු සහ එහි සාමාජික සාමාජිකාවන් වන ශ්‍රියා මුණසිංහ සහ අරුණ සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු අත්සන් තබා තිබිණ.

 


අදහස් (0)

ටෙනිස් තේරීම් කමිටුවට ඔලිම්පික් කමිටුවෙන් චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.