Last Update  :  2025-04-21 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩිල්ෂාන් ‐ සංගක්කාර ජය මග සදති

ඩිල්ෂාන් ‐ සංගක්කාර ජය මග සදති

සංජය එරමුදුගොඩ - 2013 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 13 Comment
A A A

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 184 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැංවූ තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 115) සහ කුමාර් සංගක්කාර (91) දෙදෙනා, දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී ඊයේ (28 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයේදී කඩුලූ 8 ක විශිෂ්ට ජයක් කරා ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියහ.
මෙම ජයත් සමගින් තරගයක් ඉතිරිව තිබියදීම තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 3‐2 ක් ලෙසින් ජය ගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් විය.

ලකුණු 239 ක ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉතාමත් ප‍්‍රවේසමෙන් ඉදිරියට තල්ලූකරගෙන ආ තිලකරත්න ඩිල්ෂාන් සහ සංගක්කාර දෙදෙනා 42 වැනි  ඕවරය දක්වා පිටියේ රැුඳී සිටිමින් ශී‍්‍ර ලංකා පිලට ජය මාවත විවර කර දුන්හ.

අත්‍යංලකාර හයේ පහර දෙකක් සහ හතරේ පහර 8 ක්ද ඇතුළත් කරමින් පන්දු 101 කදී ලකුණු 91 ක් ලබාගත් සංගක්කාර සිය ශතකය ආසන්නයේදී දැවී ගිය නමුත් ඒ වන විට වමත් පිතිකරුවා සිය වගකීම ඉටුකර තිබිණ.

ආරම්භක පිතිකරුවා වශයෙන් පිටියට පිවිසි ඩිල්ෂාන් ජයග‍්‍රාහී ලකුණ ලබාගන්නා තෙක්ම පිටියේ රැුඳී සිටිමින් පන්දු 130 කදී ලකුණු 115 ක් ලබාගත්තේ සිය ඉනිම හතරේ පහර 16 කින් සරසමිනි. හෙමය ඩිල්ෂාන්ගේ 17 වැනි එක්දින ශතකයයි.

ඩිල්ෂාන් සහ සංගක්කර අතර 2 වැනි කඩුල්ල සඳහා පැවැති ලකුණු 184 සම්බන්ධතාව මෙම පිතිකරුවන් දෙදෙනා අතරම වසර 2009 දී සෙන්චූරියන්හිදී 2 වැනි කඩුල්ල සඳහා පැවැති ලකුණු 158 වාර්තාව බිඳ දමීමක් විය. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 45 ක් එක් කිරීමෙන් පසු ඩිල්ෂාන් සහ මහේල අතර සම්බන්ධතාව බිඳී ගියද ඩිල්ෂාන්ට එක්වූ කුමාර් සංගක්කාර, පන්දුවට මුහුණ  දීමේ අවස්ථාව හුවමාරු කරගනිමින් ලකුණු සංඛ්‍යාව ඉදිරියට තල්ලූ කළහ.

තුන්වැනි එක්දින තරගයේදී කළ අනුවණකම් ඊයේ නොකළ ශී‍්‍ර ලංකා පිතිකරුවෝ තණතීරුවේ තත්ත්වය වටහා ගනිමින් හීන්සීරුවේ තම ඉලක්කය කරා ගියහ.

ප‍්‍රමාද වී අවදි වුණු ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් විසින් දකුණු අපි‍්‍රකානු ඉනිමේ පසු කොටසේදී තරගය තමන්වෙත හරවා ගන්නා ලදි. එසේ වුවත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 33 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ජේ. පී. ඩුමිනි (97) සහ ලොන්වාබෝ සොත්සෝබි (නොදැවී 3) තරගයක් දිය හැකි ඉසව්වක් කරා තම පිල ඇදගෙන ගියහ.

තිලකරත්න ඩිල්ෂාන් විසින් හෂිම් අම්ලා දවාගැනීමත් සමගම තරගයට අවතීර්ණ වූ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ තරගයේ 20 වැනි සහ 40 වැනි  ඕවර අතරතුරේදී දකුණු අපි‍්‍රකානු ලකුණු සංඛ්‍යාව ලකුණු 72 කට සීමා කරමින් කඩුලූ 5 ක්ද දවාගැනීමට සමත් වූහ.

දෙවැනි එක්දින තරගයේදී තුවාල ලබා සිටි හෂිම් අම්ලා මෙම තරගයට එක්වෙමින් දකුණු අපි‍්‍රකානු පිල ලබාගත් සාර්ථක අරම්භයේ අඩිතාලම දැමීය. පන්දු 71 කට මුහුණ දුන් අම්ලා, දැවී යන විට විට හතරේ පහර 9 ක් සමගින් ලකුණු 77 ක් ලබා සිටියේය. අම්ලා දැවී යාමෙන් පසුව ලකුණු රැස්කිරීමේ බර කරට ගත් ජේ. පී. ඩුමිනි මහත් ඉවසීමකින් යුතුව පන්දුවට පහර දෙමින් සිටියේය.

සහායක පිතිකරුවන් එකා පසුපස එකා දැවී යාමත් සමගම 45 වැනි  ඕවරයෙන් පසුව අත දිගහැර පන්දුවට පහර දුන් ඩුමිනි,  ලකුණු 97 ක් ලබාගත්තේ පන්දු 121 කදී හතරේ පහර 7 ක් සහ දැවැන්ත හයේ පහර දෙකක් සමගිනි.

සිය ශතකය පෙනි පෙනී සිටියදී අජන්ත මෙන්ඩිස්ගේ තවත් පන්දුවක් පිටියෙන් ඉවතට යැවීමට උත්සාහ කළ ඩූමිනිගේ කඩුලූ මත තිබූ බේල බිම වැටීමත් සමගම දකුණු අපි‍්‍රකානු ඉනිම අවසන් විය.

ජේ. පී. ඩුමිනිගේ දැවැන්ත හයේ පහර දෙකකට ලක්වූ නමුත් නැවත වතාවක් දස්කම් අතරට පැමිණි අජන්ත මෙන්ඩිස් ලකුණු 54 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත් විය.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ පන්දු රැකීම ඇදහිය නොහැකි තරම් දුර්වල මට්ටමක පැවැති අතර ෆෆ් ඩු ප්ලෙසී ලකුණු 12 ක් ලබා සිටියදී දුන් පහසු උඩපන්දුවක් පන්දු යැවූ ඇන්ජලෝ මැතිව්ස් වෙතින් ගිළිහී ගියේය. පිටියේ පන්දු රැකීමේ දුර්වලතා හේතුවෙන් දකුණු අපි‍්‍රකානු පිලට ලකුණු 30 කට ආසන්න ප‍්‍රමාණයක් පරිත්‍යාග කෙරිණ.

 

ලකුණු පුවරුව

දකුණු අප‍්‍රිකාව

හෂීම් අම්ලා - ක.මු.කළා ප.ඩිල්ශාන්    77
කුයින්ටන් ඩි කොක් - ප.මාලිංග    8
ජේ. පී. ඩුමිනි - ප.මෙන්ඩිස්    97
ඒ. බී. ඞීවිලියර්ස් - ඇ.සංගක්කාර ප.ඩිල්ශාන්     4
ෆෆ් ඩු ප්ලේසී - ස්ට.සංගක්කාර ප.හේරත්     23
ඩෙවිඞ් මිලර් - ප.මෙන්ඩිස්    1
ෆරහාන් බෙහාර්ඞීන් - ඇ. තිරිමාන්න ප.මෙන්ඩිස්    0
රොබින් පීටර්සන් - ඇ.සංගක්කාර ප.මාලිංග    13
රොරී ක්ලීන්වෙල්ඞ් - ඇ.ඩිල්ශාන් ප.මාලිංග    8
මෝනි මොර්කල් - ක.මු.කළා ප.මෙන්ඩිස්    0
ලොන්වාබෝ සොත්සෝබි - නොදැවී    3
අතිරේක    4
එකතුව  ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී    238

කඩුලු වැටීම:  
1-17 (ඩි කොක්), 2-118 (අම්ලා), 3-126 (ඞීවිලියර්ස්), 4-172 (ඩු ප්ලේසී), 5-173 (මිලර්), 6-173 (බෙහාර්ඞීන්), 7-191 (පීටර්සන්), 8-203 (ක්ලීන්වෙල්ඞ්), 9-205 (මොර්කල්), 10-238 (ඩුමිනි)

පන්දු යැවීම:
ලසිත් මාලිංග : 9-0-52-3, ඇන්ජලෝ මැතිව්ස් : 7-1-31-0, අජන්ත මෙන්ඩිස් : 9.4-0-51-4, තිසර පෙරේරා : 3-0-22-0, රංගන හේරත් : 10-0-38-1, තිලකරත්න ඩිල්ශාන් : 10-0-40-2

 

ශ‍්‍රී ලංකාව

තිලකරත්න ඩිල්ශාන් - නොදැවී    115
මහේල ජයවර්ධන - ඇ.අම්ලා ප.සොත්සෝබි    12
කුමාර් සංගක්කාර - ඇ.ක්ලීන්වෙල්ඞ් ප.මෝකල්    91
ළහිරු තිරිමාන්න - නොදැවී    1
අතිරේක    20
එකතුව  ඕවර 44 කදී කඩුලූ 2ක් දැවී    239

කඩුලු වැටීම:  
1-45 (ජයවර්ධන), 2-229 (සංගක්කාර)

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, තිසර පෙරේරා, උපුල් තරංග, ලසිත් මාලිංග

පන්දු යැවීම:
මෝනි මෝකල් : 10-1-62-1, ලොන්වාබෝ සොත්සෝබි : 7-0-48-1, රොරී ක්ලීන්වෙල්ඞ් : 8-0-33-0, රොබින් පීටර්සන් : 8-0-46-0, ජේ. පී. ඩුමිනි : 10-1-34-0, ෆරහාන් බෙහාර්ඞීන් : 1-0-14-0

තරගයේ වීරයා : තිලකරත්න ඩිල්ෂාන්

 

- දමින්ද විජේසූරිය පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේ සිට...

(ඡායාරූප: ශාන්ත රත්නායක)


අදහස් (13)

ඩිල්ෂාන් ‐ සංගක්කාර ජය මග සදති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.