Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තංගරාජා උඩින් පාත්වීමෙන් ලෙබනනයට ජය

තංගරාජා උඩින් පාත්වීමෙන් ලෙබනනයට ජය

ශනුක අරවින්ද - 2015 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර පැවැත්වෙන ඬේවිස් කුසලාන ආසියා ශාන්තිකර කළාපීය II කාණ්ඩයේ තරගාවලියේ අද (18 වැනිදා) පැවැති යුගළ තරගයෙන් තරග වට 3-2 ක් ලෙස තියුණු ජයක් අත්කර ගැනීමට ලෙබනන් කී‍්‍රඩකයෝ සමත් වූහ.

අද පැවැති යුගළ තරගය පරාජය වුවත්, ඊයේ (17 වැනිදා) පැවැති කේවල තරග දෙකම ජයගෙන තිබූ නිසා දෙවැනි දිනය අවසන් වන විට තරග 2-1 ක් ලෙස තවදුරටත් තරගාවලියේ  පෙරමුණ රැක ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකි විය.

තරගය ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී කණ්ඩායම් දෙකම එකිනෙකාට නොදෙවෙනි අයුරින් තරග වදිමින් ලකුණු රැස්කිරීම නිසා තරගයේ පළමු වටය නිමා වීමට වැඩි වේලාවක් ගතවිය. අවසානයේ ලකුණු 7/6 ලෙස එම වටයෙන් තියුණු ජයක් අත්කර ගැනීමට ලෙබනන් කී‍්‍රඩකයෝ සමත් වූහ.
 
කෙසේ වුවත් දෙවැනි වටයේදී ඉතා දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ ලකුණු 6/2 ක් ලෙස එම වටය ජයගනිමින් වට 1-1 ක් ලෙස තරගය සම තත්ත්වයට පත් කළහ.

දෙවැනි වටයේදී තමන් අතින් සිදුවූ වැරදි තෙවැනි වටයේදී නිවැරදි කරගත් ලෙබනන් කී‍්‍රඩකයෝ ලකුණු 6/3 ක් ලෙස එම වටය ජයගනිමින් වට 2-1 ලෙස තරගයේ වාසි අත්කර ගැනීමට සමත් වූහ.

හර්ෂණ ගොඩමාන්නගේ උපක‍්‍රම ශීලී කී‍්‍රඩා විලාශය නිසා සිව්වැනි වටය ලකුණු 6/3 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, වට 2-2 ක් ලෙස නැවත වරක් තරගය සම තත්ත්වයට පත් කරමින් එය දෙපිලටම විවෘත තරගයක් බවට පත් කළේය.
 
දෙපිලටම තීරණාත්මක වූ පස්වැනි වටයේදී දිනේෂ්කාන්තන් තංගරාජා පෙන්නුම් කළ දුර්වල කී‍්‍රඩා විලාශය නිසා අත පොවන මානයේ තිබූ ජයග‍්‍රහණය ශ්‍රී ලංකා පිලෙන් උදුරා ගැනීමට ලෙබනන් කී‍්‍රඩකයෝ සමත් වූහ.

එම වටය ලකුණු 6/3 ක් ලෙස ජයගත් ලෙබනන් කී‍්‍රඩකයෝ සමස්ථ තරගයෙන් 3-2 ක තියුණු ජයක් අත්කරගත්තේ තරග 3-0 කින් ලෙබනනය පරාජය කිරීමට තිබූ අවස්ථාවද ශ්‍රී ලංකාවට අහිමි කරමිනි.

ඊයේ පැවැති තරගයක් අතරතුර ඇතිවූ ශාරීරික අපහසුතාවයක් නිසා එම තරගයෙන් ඉවත් වූ ජාඞ් බොල්ලවුට් අද පැවැති යුගළ තරගයට සහභාගී නොවූ අතර ඔහු වෙනුවට ලෝක ටෙනිස් සම්මේලනයේ කණිෂ්ට ශ්‍රේණිගත කිරීම් වල 91 වැනි ස්ථානයේ පසුවන හාඩි හබීබ්, ලෙබනන කණ්ඩායම නියෝජනය කරමින් ගියොවානි සමාහා සමග යුගළ තරගයට සහභාගී විය.

අද දිනයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හර්ෂණ ගොඩමාන්න සමග යුගළ තරගයට සහභාගී වීමට නියමිතව සිටි ශාමාල් දිසානායක කී‍්‍රඩාගාරය තුළ රදවා තබා ඔහු වෙනුවට දිනේෂ්කාන්තන් තංගරාජා තරගයට යෙදවීමට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කළේය.  

ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වුවද, මේ දින වල දස්කම් අතර නොසිටින බැවින් ශ්‍රී ලංකා ටෙනිස් සංගමය විසින් නිකුත් කරන ලද තරග කාලසටහන ඇතුළත් නොවූ දිනේෂ්කාන්තන් තංගරාජා මෙම තරගය සඳහා යොදා ගැනීම බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. ඔහුගේ දුර්වල කී‍්‍රඩා විලාශය අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජයට හේතු වූ බව වැඩිදෙනාගේ මතය විය.

අද පැවැති තරගයට තංගරාජා යෙදවූයේ මන්දැයි අප කළ විමසීමකදී කණ්ඩායමේ නායක රොහාන් ද සිල්වා කියා සිටියේ ”ඊයෙයි, අදයි, හෙටයි දවස් තුනේම තරග තියෙන නිසා එක දිගට කී‍්‍රඩා කරද්දී කී‍්‍රඩකයන්ට ටිකක් අමාරුයි. ඒ නිසා අද අපි ශාමල්ව විවේක ගන්වලා දිනේෂ්ට අවස්ථාව ලබාදුන්නා. නමුත් ඒක සාර්ථක වුණේ නෑ” ලෙසයි.

කෙසේ වුවත් තංගරාජා අද පැවැති තරගයට යෙදවාගෙන ඇත්තේ ටෙනිස් සංගමයට අනයුක්තව සේවය කරන ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවකුගේ බලපෑම් මත බව විශ්වාස දායක ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.

තරගාවලියේ තෙවැනි දිනය වන හෙට (19 වැනිදා) පැවැත්වෙන කේවල තරගවලදී හාඩි හබීබ්ට එරෙහිව ශාමාල් දිසානායකත්, ජාඞ් බොල්ලවුට්ට එරෙහිව හර්ෂණ ගොඩමාන්නත් තරග වැදීමට නියමිතය.

ඉන් පළමු තරගය පෙරවරු 10.00 සිට ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර එම තරගය අවසන් වීමෙන් පසුව දෙවැනි තරගය ආරම්භවේ.

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

තංගරාජා උඩින් පාත්වීමෙන් ලෙබනනයට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.