Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තිලකා ජිනදාස ඉවත් වෙන්න සැරසෙයි

තිලකා ජිනදාස ඉවත් වෙන්න සැරසෙයි

editorial - 2020 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(සුසිල් ප්‍රේමලාල්)
 
ප්‍රවීණ දැල්පන්දු පුහුණුකාරියක වන තිලකා ජිනදාස මෙ‍ෙනවිය දැනට දරණ ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇත. දැනට රටේ පවතින කොරෝනා වසංගතය පැතිරීමේ ව්‍යසනය අවසන්වීමෙන් පසු තමාගේ ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයට නිල වශයෙන් දැනුම්දීමට බලාපොරොත්තු වන බව තිලකා ජිනදාස මෙනෙවිය ඊයේ (22දා) ලංකාදීපයට පැවසුවාය.
 
ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨ සහ පළමු ශ්‍රේණියේ දැල්පන්දු පුහුණුකාරිනියක වන ජිනදාස මෙනෙවිය ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලි ඉතිහාසයේ දෙවරක් (2009 සහ 2018) එම ශූරතාව ශ්‍රී ලංකාවට දිනා ගැනීමට ගුරුහරුකම් දුන් පුහුණුකාරිනියකි. ලබන ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු දැල්පන්දු ශූරතාව ඉලක්ක කොට ගෙන ඇය ජාතික දැල්පන්දු පුහුණු සංචිතයේ පුහුණුකරු තනතුරේ කටයුතු කළද එම තරගාවලිය කොරෝනා ව්‍යාප්ති නිසා දින නියමයක් නැතිව කල් දමා තිබේ.
 
ආසියානු දැල්පන්දු තරගාවලිය ආරම්භ වූ 1985 සිට ශ්‍රී ලංකාව 5 වරක් එම ශූරතාව (1989, 1997, 2001, 2009 සහ 2018) දිනා ඇත. ඊට අමතරව සිව් වරක් (1985, 2012, 2014 හා 2016) එම අනුශූරතාවද හිමිකරගෙන ඇති අතර දෙවරක් (1993 සහ 2005) තුන්වන ස්ථානයද දිනා ඇත.

ආසියානු දැල්පන්දු තරගාවලි අතරින් දෙවරකම ශ්‍රී ලංකාවට ශූරතාවය දිනා ගැනීමට පුහුණුකාරිතවයෙන් දායක වූ ශ්‍රී ලංකාවේ සිටින එම පුහුණුකාරිනිය තිලකා ජිනදාස මෙනෙවියයි.

ජාතික දැල්පන්දු පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධව අදහස් දැක්වූ තිලකා ජිනදාස මෙනෙවිය මෙසේ කීවාය.
 
“මම 2008 සිට 2009 දක්වා වූ වකවානුවේ පළමු වරට ජාතික පුහුණුකරු තනතුර දැරුවා. ඒ වනවිට ශ්‍රී ලංකාවට 2001 සිට වසර 8ක් යන තෙක් ආසියානු ශූරතාව දිනා ගැනීමට නොහැකිවී තිබුණා. නමුත් මම පුහුණුකරු ධුරය බාර ගැනීමෙන් පසු 2009 දී එම ශූරතාව ශ්‍රී ලංකාවට හිමිකර දුන්නා“

“ඉන් අනතුරුව යළිත් වසර 9ක් යන තෙක් ශ්‍රී ලංකාවට එම ශූරතාව දිනා ගැනීමට නොහැකි වුණා. ඒ අනුව එවකට හිටපු දැල්දු සභාපතිනී ට්‍රික්සි නානායක්කාර මහත්මියගේ සහ හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වන ෆයිසර් මුස්තාපා මහතාගේ මැදිහත්වීම මත 2018 දී මාව නැවතත් ශ්‍රී ලංකාවට කැඳෙව්වා. ඒ වන විට මම වසර 5ක් තිස්සේ බෲනායි රාජ්‍යයේ විශේෂඥ දැල්පන්දු පුහුණුකාරිනියක ලෙස කටයුතු කළා“
 
“මම යළි ශ්‍රී ලංකාවට පැමිණ ජාතික දැල්පන්දු පුහුණුකරුධුරය භාර ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස 2018 ආසියානු දැල්පන්දු ශූරතාවත් ශ්‍රී ලංකාවට දිනා දීමට හැකිවුවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ මම අතර පවතින කොන්ත්‍රාත් ගිවිසුම අනුව 2020 ආසියානු ශූරතා තරගාවලිය අවසාන වන තෙක් එම ධුරයේ කටයුතු කිරීමට මම බැඳී සිටිනවා..... නමුත් දැනට පවතින කොරෝනා වසංගතය නිසා 2020 ජූනි 20 සිට 24 දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු දැල්පන්දු තරගාවලිය දින නියමයක් නැතිව කල් දමා තිබෙනවා“ යයි ඇය කීවාය.
 
වාරතා වන පරිදි ආසියානු දැල්පන්දු තරගාවලිය මෙම වසරේදී පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පවතින අතරම 2021 වසරේදීත් එම තරගාවලිය පැවැත්වීමේ අවස්ථාවක් නැත. ඊට හේතුව වන්නේ ආසියානු යොවුන් තරගාවලිය ලබන වසරේදී පැවැත්වීමට දැනටමත් සැලසුම් කොට තිබීමයි.
 
කිසිම අවස්ථාවක ජාත්‍යන්තර තරගාවලි තුනක් එකම වසරේ නොපැවැත්වෙන නිසා කල් දැමූ ආසියානු දැල්පන්දු තරගාවලිය බොහෝ විට අහෝසි විය හැකිය.
 
කෙසේ වෙතත් දැනට පවතින දැල්පන්දු පරිපාලනය එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න තමන්ට මහත් අසීරු බව පවසන තිලකා ජිනදාස මෙනෙවිය තමන් එම තනතුරේ සිටීම සම්බන්ධයෙන් දැල්පන්දු නිලධාරිනියන් මහත් අකමැත්තෙන් සිටින බවද පවසන්නීය.
 
“මට ඔවුන් එක්ක කටයුතු කරන්න අමාරුයි. කිසිම සහයක් ලැබෙන්නේ නැහැ. එම නිසා මම තීරණය කළා 2018 සිට මේ දක්වා කටයුතු කළ ජාතික පුහුණුකරු තනතුරෙන් ඉවත් වෙන්න. ඒඅනුව ඉදිරියේදී ඔවුන්ට කැමති කෙනෙක් පත්කර ගැනීමේ අවස්ථාව හිමිවෙනවා.“ යයිද ඇය පැවසුවාය.
 
“මම යළිත් කිසි දිනෙක ශ්‍රී ලංකාවේ දැල්පන්දු ජාතික පුහුණුකරු තනතුර භාර ගන්නේ නැහැ. දැනටමත් මට විදෙස් රටවල් කීපයකින් ආරාධනා ලැබිල තියෙනවා. මගේ එකම ආදායම් මාර්ගය පුහුණුකාරිනියක ලෙස කටයුතු කිරීම නිසා මම ඒ සම්බන්ධව ළඟදීම තීරණක් ගන්නවා“ යැයි ද ඇය පැවසුවාය.

තිලකා ජිනදාස යනු දැල්පන්දු මෙන්ම මලල ක්‍රීඩාවෙන්ද ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩිකාවකි. 1980 දශකයේදී කෙටි දුර ධාවන මළල ක්‍රීඩිකාවක් ලෙස ක්‍රීඩා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඇය, මීටර 100 කඩුලු පැන දිවීම, මීටර 400 කඩුලු පැන දිවීම මෙන්ම මීටර 100x4 සහ මීටර 400x4 සහාය දිවීමේ ඉසව් වලටද ඉදිරිපත් වූවාය. 1984 වසරේ කත්මන්ඩු සාග් ක්‍රීඩා උළෙලේ සිට 1991 කොළඹ සාග් ක්‍රීඩා උළෙල දක්වා සෑම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකදීම රට නියෝජනය කරමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් රැසක් දිනා සිටින්නීය.
 
මීටර් 100 කඩුලු පැනීම කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවටද වසර කිහිපයක් අඛණ්ඩව හිමිකාරිත්වය දැරූ ඇය 1986 සිට 1987 දක්වා වූ 12 මසක කාලයකදී 9 වරක් එම ශ්‍රීලංකා වාර්තාව අලුත් කළාය. මීටර 100 කඩුලු පැන දිවීමේ ඉසව්ව වෙනුවෙන් තත්ත්පර 15.1ක් ලෙස සෙල්වගෞරි රෙච්කන් සතුව තිබූ ශ්‍රී ලංකා වාර්තාව තිලකා ජිනදාස තත්. 14.1 දක්වා අඩු කරමින් එම වාර්තාවට හිමිකම් කීවාය. මීටර් 100 කඩුලු පැනීමේ කාන්තා ඉසව්ව ප්‍රථම වරට ජාතික ක්‍රීඩා උළෙලට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙන ලද්දේ 1986 වසරේදී වන අතර එහි පළමු රන් පදක්කම දිනා ගැනීමේ ගෞරවයද තිලකා ජිනදාස සතු වන්නීය.
 
ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාවෙන් සමුගන්නේ කළකිරීමෙන්ද යන්න කළ විමසුමකට පිළිතුරු දුන් ඇය කියා සිටියේ මලල ක්‍රීඩාවේදී මෙන්ම දැල්පන්දු ක්‍රීඩාවේදීත් තමන් අපේක්ෂිත ඉලක්කය ජයගත් බවයි.
 
“මම ඒ ක්‍රීඩා දෙකෙන්ම මගේ ඉලක්කයට ගියා“
“මලල ක්‍රීඩාවෙන් මම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සිට ඔලිම්පික් ක්‍රීඩා උළෙල දක්වා විවිධ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි නියෝජනය කොට තිබෙනවා. මම තමයි ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට ගිය ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩිකාව. ඒ 1988 සෝල් ඔලිම්පික් උළෙලට...“

“ඒ වගේම ක්‍රීඩිකාවක් ලෙස ක්‍රීඩාවට කළ සේවයට දේශබන්දු ගෞරව සම්මානය පවා මට හිමි වුණා. එය මම ක්‍රීඩාවෙන් අත්කරගත් සුවිශේෂ ගෞරව සම්මානයක්. ඒ වගේම 1988 වසරේදී ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සම්මානයක් එවකට හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් පිරිනමනු ලැබුවා“
 
“දැල්පන්දු ක්‍රීඩාවෙන්ද මම ක්‍රීඩිකාවක් ලෙසත් පුහුණුකාරිනියක් ලෙසත් ජාත්‍යන්තරයට ගියා. 1993 දී ප්‍රථම වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු දැල්පන්දු තරගාවලියට ක්‍රීඩිකාවක් ලෙස සහභාගී වූ මම 1997 වසරේ පැවති ආසියානු ශූරතා තරගාවලියේදී කණ්ඩායමේ උප නායකත්වය දැරුවා..... ඊට පස්සේ විශේෂඥ පුහුණුකාරිනියක් ලෙස මම 1998 වසරේදී මාලදිවයින කණ්ඩායමට එක්වූ අතර 2011 වසරේ සිට බෲනායි රාජ්‍යයේ විශේෂඥ දැල්පන්දු පුහුණුකාරිනියක් ලෙස 2018 වනතුරු කටයුතු කළා...“ 
 
“ඒ විතරක් නෙමේ... දැල්පන්දු ක්‍රීඩාව බෲනායි රාජ්‍යයේ ප්‍රචලිත කිරීමටත් එම ජාතික කණ්ඩායම ජාත්‍යන්තර තරගාවලිවට සහභාගි කර ගැනීමටත් මම දායක වූවා. මම එරට දැල්පන්දු ක්‍රීඩාව ඉදිරියට ගෙන ඒම සඳහා කළ සේවය අගයමින් එරට ක්‍රීඩා අමාත්‍යාංශය ඇගයීම් ලිපියක් පවා ලබාදී තිබෙනවා. ඒ වගේම 2009 සහ 2018 වසරේදී ශ්‍රී ලංකාවට ආසියානු දැල්පන්දු ශූරතාව යළි දිනාගැනීමට මම සෘජුවම දායකවුණා..... මගේ ඊළඟ ඉලක්කය වුණේ 2020 ආසියානු ශූරතාව යළි ශ්‍රී ලංකාවට දිනා දීමයි. ඒත් කොරෝනා ව්‍යසනය හේතුවෙන් එය වැළකී ගියා.“ යයි කී තිලකා ජිනදාස...

“කොහොම වුණත් මම තෘප්තිමත් මලල ක්‍රීඩිකාවක් මෙන්ම දැල්පන්දු පුහුණුකාරිනියක් වනවා“ යැයිද වැඩිදුරටත් පැවසුවාය. 

 


අදහස් (1)

තිලකා ජිනදාස ඉවත් වෙන්න සැරසෙයි
  • Kumar (Guld) Thursday, 23 April 2020 07:46 PM

    දූෂිත දේෂපාලකයින්ගේ අල්ලස්, දූෂණ නිසා ක්‍රීඩා සියල්ලම විනාශ කරනවා. විගණන මාෆියාවන් ගැන නම් ලැජ්ජයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.