Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තෙවැනි අදියර ජයගත් චාමික පෙරමුණත් අල්ලයි

තෙවැනි අදියර ජයගත් චාමික පෙරමුණත් අල්ලයි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙලිකොම් ස්පීඩ් අප් පාපැදි සවාරියේ දුෂ්කර කඳු තරණයට හෙට (28) තරගකරුවන් සූදානම් වෙමින් සිටියදී අද (27) ත්‍රිකුණාමලයේ සිට දඹුල්ල දක්වා පැවැති එහි තෙවැනි අදියර තරගය ජයගත් ටෙලිකොම් ක්‍රීඩක චාමික සඳුන් කුමාර තත්ත්පර 14ක වෙනසකින් ඒ වනවිට සමස්ත තරගයේ පෙරමුණ දිනාගැනීමටද සමත්ව තිබුණි.

තරගයේ තෙවැනි අදියර අද දහවල් දඹුල්ල, ඉනාමලුවෙන් නිමාවට පත්වන විට සමස්ත තරගයේ ඔවුන් ගෙවා දමා තිබූ මුළු දුර කිලෝමීටර් 463.3කි. තරගකරුවන් 15 දෙනෙකුගෙන් සමන්විතව එක පොකුරට අද තෙවැනි අදියර තරගයේ දිනුම් කණුව කරා පැමිණි ඔවුන් අතරින් චාමික සඳුන් කුමාර පැය 2. විනාඩි 50 තත්ත්පර 10කදී එම තෙවැනි අදියර මුළු දුර වූ කිලෝමීටර් 108.9 ගෙවා දැමීමට සමත්විය.

ත්‍රිකුණාමලය කෝනේෂ්වරම් වෙරළ තීරය යළිත් අද තෙවැනි අදියර ආරම්භ වූ අතර එහි ගමන් මාර්ගය අබේපුර, තඹලගමුව, කන්තලේ, යකා වංගුව, හබරණ, දඹුල්ල, දිගම්පතන, ඉනාමළුව හරහා මිරිස්ගෝනියාව හංදිය දක්වා වැටී තිබුණි.

මෙතෙක් පැවැති ටෙලිකොම් පාපැදි සවාරයේ සමස්ත ප්‍රතිඵලය දෙස බැලීමේදී චාමික සඳුන් කුමාර තත්ත්ර 14ක කාලයකින් ඉදිරියෙන් පසුවුවත් අද තරගයේදී කඳු තරණය තරගකරුවන්ට වඩාත් තීරණාත්මක කඩඉමක් වන බව එම ප්‍රතිඵල විශ්ලේෂණය කරන ජාතික පාපැදි පුහුණුකරු උපාලි රත්නායක මහතා පවසයි.

තරගයේ වෙනත් ක්‍රීඩකයන්ගේ අගය කිලෝමීටර් 44ක් තරම් වඩාත් වේගයක් ගත්තා. මුල් අදියර තරග දෙකේදීම තරඟකරුවන්ට සුළගෙන් යම් වාසියක් සැලසුනත් අද පැවැති තෙවැනි අදියර තරගයේදී සිදුවුණේ වෙනස් දෙයක්. ඒ සුළඟ ක්‍රීඩකයන්ගේ ධාවනයට ප්‍රතිවිරුද්ධ දෙසට හැමුවා.

හෙට ධාවන මාර්ගය මෙතෙක් තරගකරුවන් අත් නොවිඳි දුෂ්කර මාර්ගයක් වෙනවා. ඔවුන්ට දුෂ්කර කඳු තරණය කිරීමට හෙට සිදුවනවා. ඒ තුළ අද තරගයේ උඩුයටි කරන ප්‍රතිඵලයක් ඒවි යයි මා විශ්වාස කරනවා යැයි ද එහිදී උපාලි රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය. හෙට සිට එහි අදියර තරගය දඹුල්ලේ සිට වස්ගමුව හරහා බදුල්ලට ළඟාවන්නේ කිලෝමීටර් 147.5ක මුළු දුරක් ගෙවා දමමිනි.

එම සමස්ත මාර්ගයේ බොහෝ තැන් තරගකරුවන්ට වඩාත් දුෂ්කර තත්ත්වයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගමන් මාර්ගයට ඇතුළත් බකමූණ, 9 කණුව අසල මාර්ගය අළුත්වැඩියා කරමින් පවතී. ඒ අතර අනතුරු සහිත සපත්තු පාලම්, පටු පාලම්, මීගහකිවුල කන්ද තරණය තල්දෙන හංදිය කඳු බෑවුම් ආදී ස්ථාන එහිදී පසුකිරීම තරගකරුවන්ට වඩාත් අභියෝගාත්මක වනු ඇත.

තරගකරුවන් 84 දෙනකු අද පැවැති තෙවැනි අදියර තරගයට සහභාගි විය. එහිදී එයින් 80 දෙනකු සාර්ථක ගමන් නිමාවක් හමුවේ දඹුල්ල, මිරිස්ගෝනියාව හංදියට ළඟාවිය.

මෙතෙක් පැවැති තරගයේ සමස්ත ප්‍රතිඵලයට අනුව සාෆ් රන් පදක්කම්ලාභී පාපැදි ක්‍රීඩක ජීවන් ජයසිංහ 38වැනි ස්ථානයේ පසුවූයේ පැය 11 විනාඩි 16 තත්ත්පර 57ක කාලයක් ගෙනා දමමිනි.

ඒ වනවිට ඔහු සමස්ත තරගයේ පෙරමුණ ගත් ක්‍රීඩකයා හා විනාඩි 11 තත්පර 35ක් පසුපසින් සිටියේය. ඊයේ (26) කිලෝමීටර් 215ක දීර්ඝතම දුරක් උප අදියර දෙකකින් සමන්විතව නිමාවේදී එය ජයගත් ගුවන් හමුදා ක්‍රීඩක බණ්ඩාර ප්‍රේමරත්නට අද තෙවැනි අදියර තරගයේ අත්වූයේ 13 වන ස්ථානයයි. තරගය ආරම්භ කරමින් පැවැති මුල් අදියර (කොළඹ සිට පුත්තලම දක්වා කිලෝමීටර් 133 ක දුරක්) ජයගත්තේ සමන්ත ලක්මාල් විසිනි.

ඔහු අද තෙවැනි අදියර නිමාවේදී හිමිකර ගෙන තිබුණේ 18 වන ස්ථානයයි. ටෙලිකොම් ස්පීඩ්අප් පාපැදි සවාරියේ (2016) ශූරයා වූ නාවික හමුදා ක්‍රීඩක දර්ශන ප්‍රසාද් ඒ වනවිට සමස්ත තරගයේ පළමු තරගකරුට වඩා විනාඩි 4 තත්ත්පර 53ක කාලයක් පසුපසින් විය.

මෙවර ටෙලිකොම් ස්පීඩ්අප් පාපැදි සවාරිය අනිද්දා (29) නිමාවට පත්වීමට නියමිතය. ඒ බදුල්ලේ සිට බලන්ගොඩ හරහා ඇඹිලිපිටිය දක්වා කිලෝමීටර් 161.5ක දුරක් සමස්ත තරගයේ පස්වන (අවසන්) අදියර ගෙවා දමමින් ටෙලිකොම් ස්පීඩ්අප් පාපැදි සවාරයේ අද (27) පැවැති තෙවැනි අදියර (ත්‍රිකුණාමලය සිට දඹුල්ල මිරිස්ගෝනියාව හංදිය දක්වා කිලෝමීටර් 108.6) තරගයේ  ප්‍රතිඵල (10 වැනි ස්ථානය දක්වා).

1. චාමික සඳුන් කුමාර (ටෙලිකොම් - පැය 2 :50.10)
2. සන්ජු දීමන්ත (ගුවන් හමුදාව - පැය 2:50.10)
3. සී.එම්. ටිරාන් (වරාය - පැය 2:50.10)
4. ගයාන් කුමාර (යුද හමුදාව - පැය 2:50.10)
5. එම්. එන්. එස්. ප්‍රනාන්දු (ටෙලිකොම් - පැය 2:50.10) 
6. සම්පත් වීරසිංහ (යුද හමුදාව - පැය 2:50.10)
7. කුෂාන් රාජපක්ෂ (යුද හමුදාව - පැය 2:50.10)
8. ලහිරු මධුශංක (යුද හමුදාව -  පැය 2:50.10)
9. ගීත් ද සිල්වා (නාවික හමුදාව - පැය 2:50.10) 
10. දිමුතු සංජීව (ගුවන් හමුදාව - පැය 2:50.10)

අදියර තුනක තරග නිමාවේ කිලෝමීටර් (463.3) අද 27 වන විට සමස්ත තරග ප්‍රතිඵල - (10 වැනි ස්ථානය දක්වා)
1. චාමික සඳුන් කුමාර (ටෙලිකොම් - පැය 11:05.22)
2. දිමුතු සංජීව (ගුවන් හමුදාව - පැය 11:05.36)
3. ගයාන් කුමාර (යුද හමුදාව - පැය 11:05.45)
4. කුෂාන් රාජපක්ෂ (යුද හමුදාව - පැය 11:07.16)
5. සන්ජු දීමන්ත (ගුවන් හමුදාව - පැය 11:07.25)
6. කිවියුරු කරුණාරත්න (යුද හමුදාව - පැය 11:07.37)
7. සී.එම්. ටිරාන් (වරාය - පැය 11:07.43)
8. සම්පත් වීරසිංහ (යුද හමුදාව - පැය 11:07.44)
9. ගීත් ද සිල්වා (පැය 11:07.47)
10. සුවාරිස් ප්‍රේමචන්ද්‍ර (දෙහිවල ගල්කිස්ස - පැය 11:07.50)

 


අදහස් (0)

තෙවැනි අදියර ජයගත් චාමික පෙරමුණත් අල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.