Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තේරීම් කමිටු තීරණය පාණ්ඩ්‍යා තහවුරු කරයි

තේරීම් කමිටු තීරණය පාණ්ඩ්‍යා තහවුරු කරයි

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට පිටම ලබාගත් 9 වැනි එක්දින ජයග්‍රහණය සනිටුහන් කරමින් ඉන්දෝර්හිදී ඕස්ට්‍රේලියානුවන් පරදවා කඩුලු 5 ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (24 වැනිදා) සමත් විය. මෙම ජයත් සමගින් තරග දෙකක් ඉතිරිව තිබියදීම 3-0 ත් ලෙසින් එක්දින තරගාවලිය ජයගැනීමටද ඉන්දියානුවෝ සමත් වූහ.

පිතිකරු ලයිස්තුවේ උසස්වීමක් ලද හර්දික් පාණ්ඩ්‍යා තේරීම් කමිටුව නිවැරදි යයි සනාථ කළේ පන්දු 72 කින් ලබාගත් ප්‍රහාරාත්මක ලකුණු 78 කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර  5 කින් සහ ඇදහිය නොහැකි හයේ පහර 4 කින් සමන්විත විය.

ඉන්දීය පිලේ ඉදිරිපෙළ පිතිකරුවන් සිවුදෙනාගෙන් තිදෙනකුම ලකුණු 70 ඉක්මවා ලබාගත් අතර ඊට අඩුවෙන් ලබාගත්තේ විරාට් කෝලි පමණි. ලකුණු 294 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියානුවෝ පන්දු 13 ක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය කරා අවතීර්ණ වූහ.

ඉන්දිය දඟ පන්දු යවන්නන් හමුවේ සිය පිතිකරුවන් අමාරුවේ වැටීම නිසා ඒරන් ෆින්ච් නැවතත් ඕස්ටේ්‍රලියානු පිලට කැඳවන ලදි. පුනරාගමන තරගයේදී අගනා ලකුණු 124 ක් ලබාගැනීමට ෆින්ච් සමත්වූ අතර වරෙක ඕස්ටේ්‍රලියානු ලකුණු පුවරුව කියැවුණේ කඩුල්ලක් දැවී ලකුණු 224 ක් ලෙසිනි. එහෙත් එකළඟ කඩුලු කිහිපයක් දැවීයාම හේතුවෙන් ඕවර 50 නිමාවන විට ඕස්ට්‍රේලියානු පිලේ ලකුණු සංඛ්‍යාව කඩුලු 6 කට 293 ක් විය.

මෙම ජයත් සමගින් නැවත වරක් එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ මුදුන් හිණිපෙතටම නැගගත් ඉන්දීය කණ්ඩායම මේ වන විට ටෙස්ට් සහ එක්දින තරග දෙකේදීම අංක එකේ කණ්ඩායම බවට පත්ව සිටී.

ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළද ප්‍රයෝජනයක් අත්නොවිණ. ඕස්ටේ්‍රලියානු ආරම්භක පිතිකරුවන් වූ ඬේවිඞ් වෝනර් සහ ඒරන් ෆින්ච් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ රෝහිත් ෂර්මා (71) සහ අජින්ක්‍යා රහනේ (70) අතර පැවැති පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 139 කි.

ඕස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය වූයේ තමන්ගේ කඩුලු රැකගැනීමයි. එහෙත් ඉන්දීය පිලට එවන් හිසරදයක් නොවීය. ආරම්භක පිතිකරුවන් දෙදෙනා නිදහසේ සිය පහර කරා ගිය අතර යම් හෙයකින් ඔවුන්ගෙන් කෙනකු දැවීගියහොත් ලකුණු ලබාගැනීමේ බර කරමතට ගැනීමට ඕනෑතරම් පිතිකරුවෝ ඉන්දීය පිල සතුව සිටියහ.

රෝහිත් ෂර්මා ගැසූ හයේ පහර හතරෙන් එකකින් ඉහළ ගිය පන්දුව ක්‍රීඩාංගණයෙන් එපිටට පියාඹා ගියේය. ලකුණු 67 ක් තුළදී පිතිකරුවන් සිවුදෙනකු දැවී ගියත් අංක 4 ස්ථානයට උසස්වීමක් ලද හර්දික් පාණ්ඩ්‍යා තමන්ගේ කාර්යය අකුරටම ඉටුකළේය.

ජයග්‍රහණය පෙනි පෙනී තිබියදී හර්දික් දැවී ගියද මනීෂ් පාණ්ඬේ පැමිණ ලබාගත් ලකුණු 36 හේතුවෙන් ඉන්දියානුවන්ට අසීරුවකින් තොරවම තරගය ජයගත හැකිවිය.


ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 293 යි
(ඬේවිඞ් වෝනර් 42, ඒරන් ෆින්ච් 124, ස්ටීවන් ස්මිත් 63, මාකස් ස්ටොයිනිස් නොදැවී 27 යි, ජස්ප්‍රීට් බුම්රා 52/2, කුල්දිප් යාදව් 75/2)

ඉන්දියාව - ඕවර 47.5 කදී කඩුලු 5 ක් දැවී 294 යි
(අජින්ක්‍යා රහනේ 70, රෝහිත් ෂර්මා 71, විරාට් කෝලි 28, හර්දික් පාණ්ඩ්‍යා 78, මනීෂ් පාණ්ඬේ නොදැවී 36, පැට් කමින්ස් 54/2)

 

 


අදහස් (0)

තේරීම් කමිටු තීරණය පාණ්ඩ්‍යා තහවුරු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.