Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තිළිණි හයවැනි වරටත් ජාතික ශූරතාව දිනයි

තිළිණි හයවැනි වරටත් ජාතික ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ 66 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේදී ද්විත්ව ශූරතා දිනාගනිමින් මේ වසරේ (2018) ජාතික බැඞ්මින්ටන් ශූරිය බවට පත්වීමට තිළිණි හෙන්ඳහේවා සමත් වූවාය. තිළිණි ජාතික බැඞ්මින්ටන් ශූරිය බවට පත්වූ හයවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2012, 2014, 2015, 2016 සහ 2017 යන වසර වලදීද ඇය ජාතික ශූරතාවට හිමිකම් කියා තිබේ.

කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස කාවින්දි සිරිමාන්නගේ පරාජය කළ තිළිණි, කාන්තා යුගල අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා පරාජය කළේ කේවල තරගයේදී සිය ප්‍රතිවාදී ක්‍රීඩිකාව වූ කාවින්දි සිරිමාන්නගේ සමග එක්වෙමිනි.

තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට දිනූක කරුණාරත්න සමත් වූයේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස රන්තුෂ්ක සසිඳු පරාජය කරමිනි. ඔහු ජාතික බැඞ්මින්ටන් ශූරයා බවට පත්වූ තෙවැනි අවස්ථාවද මෙය විය.

මින් පෙර 2010 සහ 2017 වසරවලදී ජාතික ශූරයා බවට පත්වූ දිනූක, මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී තරග වට 2-1 ක් ලෙස බුවනෙක ගුණතිලක පරාජය කරමිනි.

රන්තුෂ්ක ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියක පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙය වූ අතර අවසන් පූර්ව වටයේදී තරග වට 2-1 ක් ලෙස දිනූකගේ සොහොයුරු දිලූක කරුණාරත්න පරාජය කරමින් ඔහු එම අවස්ථාව උදාකර ගත්තේය.

බුවනෙක ගුණතිලක හමුවේ වට 2-1 ක් ලෙස පරාජය වීම නිසා 16 වරක් ජාතික ශූරතාව දිනා සිටි දිනූකගේ වැඩිමහල් සොහොයුරු නිලූක කරුණාරත්නට මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයෙන්ම ඉවත් වීමට සිදුවිය. ඉකුත් වසරේදීද නිලූක සිය බාල සොහොයුරු දිනූක හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට පත්වීම නිසා අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවිය.

පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වුවද, සචින් ඩයස් සමග එක්ව පිරිමි යුගල ඉසව්වද, කාවින්දි සිරිමාන්නගේ සමග එක්ව මිශ්‍ර යුගල ඉසව්වද ජයගනිමින් මෙවර තරගාවලියේ ද්විත්ව ශූරතාවන්ට හිමිකම් කීමට බුවනෙක ගුණතිලක සමත් විය. මිශ්‍ර යුගල ශූරතාවට අමතරව කාන්තා යුගල ශූරතාව දිනාගත් කණ්ඩායමේද කොටස් කාරියක වීම නිසා කාවින්දි සිරිමාන්නගේටද එහිදී ද්විත්ව ශුරතා හිමිවිය.

ප්‍රවීනයන්ගේ තරගවලදී උපේන්ද්‍ර ජයවර්ධන (වයස 40 න් ඉහළ), නිරෝෂන් විජේකොන් (වයස 50 න් ඉහළ), රොහාන් ප්‍රනාන්දු (වයස 55 න් ඉහළ) සහ විපුලි අබේසේකර (වයස 40 න් ඉහළ) යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද්විත්ව ශූරතා හිමිකර ගත්හ.

කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත් මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1000 කට අධික පිරිසක් සහභාගි වූහ.


තරග ප්‍රතිඵල

පිරිමි කේවල
■    දිනූක කරුණාරත්න විසින් තරග වට 2-0 ක් ලෙස රන්තුෂ්ක සසිඳු පරාජය කරන ලදි. (21/11, 21/15)

පිරිමි යුගල
■    බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් විසින් තරග වට 2-0 ක් ලෙස හසිත චානක සහ ආර්.එස්. කසුන් පරාජය කරන ලදහ. (21/15, 21/13)

කාන්තා කේවල  
■    තිළිණි හෙන්ඳහේවා විසින් තරග වට 2-1 ක් ලෙස කාවින්දි සිරිමාන්නගේ පරාජය කරන ලදි. (20/22, 21/9, 21/17)

කාන්තා යුගල
■    තිළිණි හෙන්ඳහේවා සහ කාවින්දි සිරිමාන්නගේ විසින් තරග වට 2-1 ක් ලෙස අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා පරාජය කරන ලදහ. (16/21, 21/13, 21/15)

මිශ්‍ර යුගල
■    බුවනෙක ගුණතිලක සහ කාවින්දි සිරිමාන්නගේ විසින් තරග වට 2-0 ක් ලෙස සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා පරාජය කරන ලදහ. (22/20, 21/16)


ප්‍රවීනයන්ගේ තරග ප්‍රතිඵල

වයස 35 න් ඉහළ පිරිමි කේවල
■    හේමන්ත කොඩිතුවක්කු විසින් තරග වට 2-0 ක් ලෙස තනූජ ලියනගේ පරාජය කරන ලදි. (21/12, 21/10)

වයස 40 න් ඉහළ පිරිමි කේවල
■    උපේන්ද්‍ර ජයවර්ධන විසින් තරග වට 2-0 ක් ලෙස සුභාෂ් ජානක පරාජය කරන ලදි. (21/19, 21/18)

වයස 40 න් ඉහළ පිරිමි යුගල
■    උපේන්ද්‍ර ජයවර්ධන සහ ක්ලැරන්ස් හෝමර් විසින් තරග වට 2-0 ක් ලෙස දුමින්ද ජයකොඩි සහ සුබාෂ් ජානක පරාජය කරන ලදි. (21/18, 25/23)

වයස 50 න් ඉහළ පිරිමි කේවල
■    කමල් ගම්ලත් හමුවේ නිරෝෂන් විජේකොන් නිතර ජයක් ලැබීය.

වයස 50 න් ඉහළ පිරිමි යුගල
■    නිරෝෂන් විජේකෝන් සහ ආර්. පතිරණ විසින් තරග වට 2-0 ක් ලෙස දර්ශන සේනාරත්න සහ කමල් ගම්ලත් පරාජය කරන ලදි. (21/14, 21/15)

වයස 55 න් ඉහළ පිරිමි කේවල
■    රොහාන් ප්‍රනාන්දු විසින් තරග වට 2-0 ක් ලෙස ඒඩියන් ඩිලීමා පරාජය කරන ලදි. (21/11, 21/13)

වයස 55 න් ඉහළ පිරිමි යුගල
■    රොහාන් ප්‍රනාන්දු සහ ලුවිස් කරුණාරත්න විසින් තරග වට 2-0 ක් ලෙස සුරේෂ් තේවරාජා සහ ලලිත් නානායක්කාර පරාජය කරන ලදි. (21/12, 24/22)

වයස 40 න් ඉහළ කාන්තා කේවල
■    විපුලි අබේසේකර විසින් තරග වට 2-0 ක් ලෙස නිෂාන්ති විදානගේ පරාජය කරන ලදි. (21/14, 21/19)

වයස 40 න් ඉහළ කාන්තා යුගල
■    විපුලි අබේසේකර සහ ප්‍රියංකා අබේරත්න විසින් තරග වට 2-0 ක් ලෙස නිෂාන්ති විදානගේ සහ ලසන්ති විදානගේ පරාජය කරන ලදහ. (22/20, 21/17)  

 


අදහස් (0)

තිළිණි හයවැනි වරටත් ජාතික ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.