Last Update  :  2024-12-27 18:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දික්වැල්ලගේ තහනම මාස 3 කට අඩු කරයි

දික්වැල්ලගේ තහනම මාස 3 කට අඩු කරයි

editorial - 2024 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

තහනම් උත්තේජක නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත වසර තුනක තරග තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ තහනම මාස 3 කට අඩු කිරීමට ඒ සම්බන්ධයෙන් ඔහු යොමු කළ අභියාචනය විභාග කළ අභියාචනා මණ්ඩලය නිර්දේශ කර තිබේ. 

ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් ඉකුත් ජූලි මස 14 වැනිදා පවත්වන ලද තහනම් උත්තේජක පරීක්ෂණයකදී දික්වැල්ල කොකේන් භාවිතා කර ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඔහුට එරෙහිව අගෝස්තු මස 13 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අවුරුදු තුනක තහනමක් පනවා තිබුණි. 

මේ වන විට 31 වැනි වියේ පසුවන දික්වැල්ල, ජූලි මස 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැති ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 තරගාවලියේදී ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය දැරු අතර එහි අවසන් මහ තරගයේදී ඔහුගේ කණ්ඩායම යාපනය කිංග්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත් විය. 

එම තරගාවලිය අතරතුර කෝකේන් භාවිතා කර ඇති බවට තහනම් උත්තේජක පරීක්ෂණයේදී තහවුරු වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඔහුගේ ක්‍රීඩා සමාජය වන එන්.සී.සි. ක්‍රීඩා සමාජය ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් තරග තහනම් කිරීමට පියවර ගත්තේය.  

කෙසේ වුවත් විශ්‍රාමික විනිසුරු උපාලි සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල අභියාචනා මණ්ඩලයක් විසින් දික්වැල්ල පරිභෝජනය කර ඇති ද්‍රව්‍ය ඔහුගේ ක්‍රීඩා දස්කම්වලට සම්බන්ධ නොවන බවත්, ඔහු එය භාවිතා කර ඇත්තේ තරගවලින් බැහැරව සිටියදී බවත් නිගමන කරනු ලැබ ඇත.  

මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා සහ ගිම්හාන ජාගොඩආරච්චි මහතා එම අභියාචනා මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කර ඇති අතර නිගමන වල ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු මස 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි දික්වැල්ලගේ තෙවසරක තරග තහනම මාස තුනකට සීමා කිරීමට අභියාචනා මණ්ඩලය නිර්දේශ කර ඇත.  

එම නිර්දේශ වලට අනුව ඔහුගේ මාස තුනේ තරග තහනම නොවැම්බර් මස 13 වැනිදායින් නිමාවට පත්ව තිබේ. ඒ අනුව සියලුම ආකාරයේ ක්‍රිකට් තරගවලට සහභාගි වීම තහනම් කර තිබූ දික්වැල්ලට වහාම ක්‍රියාත්මක වන පරිදි යළිත් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. 

 


අදහස් (0)

දික්වැල්ලගේ තහනම මාස 3 කට අඩු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.