Last Update  :  2025-01-15 19:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට බැට දෙති
වි-20 ලෝක කුසලාන 2024

දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට බැට දෙති

editorial - 2024 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද නිව්යෝක් නුවර නසාවු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර නිව්යෝක් නුවර නසාවු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 78 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානුවෝ ඕවර 16.2 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ.

එදා මෙදා තුර විස්සයි-20 ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙන්ම අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හිමි රටක් විස්සයි-20 තරගයකදී දැවී ගිය 5 වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය වාර්තා අතරට එක් විය. මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් විස්සයි-20 තරගයකදී දැවී ගොස් තිබූ අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ 2016 වසරේදී ඉන්දියාව හමුවේ ලකුණු 82 කට දැවී යෑමය.

පන්දු 22 කට මුහුණදුන් හෙන්රිච් ක්ලාසන් හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 19 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’ කොක් පන්දු 27 කදී හයේ පහරක් සමග ලකුණු 20 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා දායකත්වය සැපයීය. එහිදී වනිඳු හසරංග ලකුණු 22 කට කඩුලු 2 ක් බිඳහෙළූ අතර දසුන් ශානක සහ නුවන් තුෂාර කඩුල්ල බැගින් දවාගත්හ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 19.1 ක් අවසානයේ ලකුණු 77 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. පිට ඉන්නෙන් ඉවතට ඇදී ගිය පන්දුවකට පහරක් එල්ල කිරීමට යෑමේදී පිත්තේ පිටත දාරයේ වැදී ඉහළ ගිය පන්දුව තර්ඞ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි හෙන්රිච් ක්ලාසන්ගේ දෑත් අතර සිරවීමත් සමග පැතුම් නිස්සංකගේ (3) ඉනිම නිමා විය.

එතැන් පටන් ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 18 ක් එක්වන විට කමිඳු මෙන්ඩිස් දැවී ගියේ කඩුල්ල එල්ලයේ පැමිණි පන්දුවකට ෆ්ලික් පහරක් එල්ල කිරීමට යෑමේදීය. ස්කුවෙයාර් ලෙග් කලාපයේ පන්දු රකිමින් සිටි රීස් හෙන්ඩ්‍රික්ස්ගේ දක්ෂ උඩපන්දු රැකගැනීම හේතුවෙන් දැවීයන විට කමිඳු ලබා සිටියේ ලකුණු 11 ක් පමණි.

පිතිහරඹ ලැයිස්තුවේ උසස් වීමක් ලබා සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි නායක වනිඳු හසරංගට මුහුණදීමට සිදුවූයේ පන්දු 2 කට පමණි. කේෂව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි’කොක්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් වනිඳු ක්‍රීඩාගාරය වෙත ගියේ ලකුණු ලබාගැනීමට ආරම්භ කිරීමටත් පෙරාතුවය.

වනිඳු දැවී ගිය පන්දුවට පසු පන්දුවේදීම සදීර සමරවික්‍රමද දැවී ගිය අතර පිත්ත සහ පා අවරණය අතරින් රිංගා ගිය පන්දුව කඩුල්ලේ දැවටීමත් සමග ඔහුද ලකුණු නොළබාම පිටියෙන් ඉවත්ව ගියේය. ඒ අනුව වරෙක ලකුණු 31 කට එක් කඩුල්ලක් ලෙස සටහන්ව තිබූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 32 කට කඩුලු 4 ක් බවට පත් විය.

සිය ඕවර 4 තුළ ලකුණු 7 කට කඩුලු 4 ක් බිඳහෙළූ ඇන්රික් නොකියා, දුම්මල වරම අතට ගත් යකදුරෙකු මෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් මෙල්ල කිරීමට සමත් විය. ඉතා මන්දගාමී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 30 කදී හතරේ පහරක් සමග ලකුණු 19 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස්, නොකියාගේ දෙවැනි ගොදුර බවට පත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට 5 වැනි කඩුල්ලත් අහිමි කරමිනි.

ඉන් අනතුරුව චරිත් අසලංක (6) සහ ඇන්ජලෝ මැතිව්ස් (16) ද විශාල පහරවල් කරා යෑමට ගත් උත්සාහයන් වැරදී යෑමෙන් නොකියාගේ පන්දු හමුවේ දැවී ගිය අතර දසුන් ශානකට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූයේ කඩුල්ල තුළට දෝලනය කගිසෝ රබාඩාගේ පන්දුවක් නිසි අයුරින් අවබෝධ කරගැනීමට අපොහොසත් වීම හේතුවෙනි.

 

ශ්‍රී ලංකාව

පැතුම් නිස්සංක - ඇ.ක්ලාසන් ප.බාට්මන්          3

කුසල් මෙන්ඩිස් - ඇ.ස්ටබ්ස්. ප.නොකියා        19

කමිඳු මෙන්ඩිස් - ඇ.හෙන්ඩ්‍රික්ස් ප.නොකියා    11

වනිඳු හසරංග - ස්ට.ඩි’කොක් ප.මහරාජ්            0

සදීර සමරවික්‍රම - ප.මහරාජ්                              0

චරිත් අසලංක - ඇ.හෙන්ඩ්‍රික්ස් ප.නොකියා       6

ඇන්ජලෝ මැතිව්ස් - ඇ.බාට්මන් ප.නොකියා  16

දසුන් ශානක - ප.රබාඩා                                    9

මහීෂ් තීක්ෂණ - නොදැවී                                   7

මතීෂ පතිරණ - ඇ.මාක්‍රම් ප.රබාඩා                   0

නුවන් තුෂාර - දුවද්දී දැවී ගියා (නොකියා)          0

අතිරේක                                                          6

ඕවර 19.1 කදී සියලු දෙනා දැවී                       77

කඩුලු වැටීම :

1-13(පැතුම්), 2-31(කමිඳු), 3-32(වනිඳු), 4-32(සදීර), 5-40(කුසල්), 6-45(චරිත්), 7-68(දසුන්), 8-70(මැතිව්ස්), 9-71(මතීෂ), 10-77(තුෂාර)

පන්දු යැවීම :

මාකෝ ජැන්සන් 3.1-0-15-0, කගිසෝ රබාඩා 4-1-21-2, ඔට්නීල් බාට්මන් 4-1-09-1, කේෂව් මහරාජ් 4-0-22-2, ඇන්රික් නොකියා 4-0-07-4

 

දකුණු අප්‍රිකාව

ක්වින්ටින් ඩි’කොක් - ඇ. සහ ප.වනිඳු             20

රීසා හෙන්ඩ්‍රික්ස් - ඇ.කමිඳු ප.තුෂාර                   4

ඒඞ් මාක්‍රම් - ඇ.කමිඳු ප.දසුන්                          12

ට්‍රිස්ටන් ස්ටබ්ස් - ඇ.චරිත් ප.වනිඳු                   13

හෙන්රිච් ක්ලාසන් - නොදැවී                          19

ඬේවිඞ් මිලර් - නොදැවී                                     6

අතිරේක                                                          6

ඕවර 16.2 කදී කඩුලු 4 ක් දැවී                         80

පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :

මාකෝ ජැන්සන්, කේෂව් මහරාජ්, කගිසෝ රබාඩා, ඇන්රික් නොකියා සහ ඔට්නීල් බාට්මන්

කඩුලු වැටීම :

1-10(රීසා), 2-23(මාක්‍රම්), 3-51(ඩි’කොක්), 4-58(ස්ටබ්ස්)

පන්දු යැවීම :

ඇන්ජලෝ මැතිව්ස් 3-0-16-0, නුවන් තුෂාර 3-0-18-1, දසුන් ශානක 3-1-06-1, මතීෂ පතිරණ 3-0-12-0, වනිඳු හසරංග 3.2-0-22-2, මහීෂ් තීක්ෂණ 1-0-03-0

 

අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට බැට දෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.