Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු ආසියානු පැසිපන්දු කිරුළ ශ්‍රී ලංකාවට

දකුණු ආසියානු පැසිපන්දු කිරුළ ශ්‍රී ලංකාවට

editorial - 2022 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

දකුණු ආසියානු පැසිපන්දු සංගමයේ සංවිධානයෙන් මාලදිවයිනේදී පැවැති දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. රටවල් 4 ක සහභාගීත්වයෙන් මාලේ නුවරදී ලීග් ක්‍රමයට අනුව පැවැති මෙම තරගාවලියේදී ජයග්‍රහණ ද්විත්වයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශූරතාවට හිමිකම් කීහ. 

එහිදී භූතානයට එරෙහිව ලකුණු 98-33 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, නේපාලන හමුවේ ලකුණු 55-49 ක තියුණු පරාජයක් ලැබූහ. කෙසේ වුවත් සහභාගි වූ අවසන් තරගයේදී සත්කාරක මාලදිවයිනට එරෙහිව ලකුණු 72-59 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පිට පිටම දෙවැනි වරටත් තරගාවලියේ ශූරතාවලිය තමන් සතුකර ගත්හ. 

ශ්‍රී ලංකාව සහ නේපාලය තරග 2 බැගින් ජයගනිමින් එක් තරගය බැගින් පරාජයට පත්ව සිටියද, තරගාවලිය පුරා ප්‍රතිවාදී කණ්ඩායම්වලට එරෙහිව ලබාගත් ලකුණුවල එකතුවෙහි සහ ප්‍රතිවාදී කණ්ඩායම් හමුවේ ලබාදුන් ලකුණුවල එකතුවෙහි පරතරය අනුව ශ්‍රී ලංකාවට තරගාවලියේ ශූරතාවත්, නේපාලයට එහි අනු ශූරතාවත් හිමිවිය. 

එහිදී ශ්‍රී ලංකාව ලකුණු 219 ක් ලබාගනිමින් ලකුණු 147 ක් ලබාදී තිබූ අතර ඔවුන්ගේ ලබාදුන් සහ ලබාගත් ලකුණුවල පරතරය 72 ක් විය. නේපාලය ලකුණු 167 ක් ලබාගනිමින් ලකුණු 126 ක් ලබාදී තිබූ අතර ඔවුන්ගේ ලබාදුන් සහ ලබාගත් ලකුණුවල පරතරය 41 ක් විය. ඒ අනුව වැඩි ලකුණු පරතරයක් රඳවාගෙන සිටිම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශූරියන් ලෙස කිරුළු පැළදූහ. 

තරගාවලියේ අවසන් තරගය ඊයේ (29 වැනිදා) රාත්‍රියේ මාලදිවයින සහ භූතානය අතර පැවැත්වීමට නියමිතව තිබූ අතර එහි ප්‍රතිඵලය කුමක් වුවත් ඉන් තරගාවලියේ ශූරතාවට හෝ අනු ශූරතාවට බලපෑමක් සිදු නොවනු ඇත. 

මාලදිවයින් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහය සහ මාලදිවයින් පැසිපන්දු සංගමයේ මෙහෙයවීම යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය සහ භූතානය සහභාගි වීමට නියමිතව තිබිණ. එහෙත් ඉන්දියාව සහ බංග්ලාදේශය අවසන් මොහොතේ තරගාවලියට සහභාගි නොවීම හේතුවෙන් එය සිවුකොන් තරගාවලියක් බවට පත්විය. 

තරග ප්‍රතිඵල 

මාලදිවයින විසින් ලකුණු 51-47 ක් ලෙස නේපාලය පරාජය කරන ලදි.
ශ්‍රී ලංකාව විසින් ලකුණු 98-33 ක් ලෙස භූතානය පරාජය කරන ලදි.
නේපාලය විසින් ලකුණු 55-49 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.
නේපාලය විසින් ලකුණු 65-26 ක් ලෙස භූතානය පරාජය කරන ලදි. 
ශ්‍රී ලංකාව විසින් ලකුණු 72-59 ක් ලෙස මාලදිවයින පරාජය කරන ලදි

 


අදහස් (0)

දකුණු ආසියානු පැසිපන්දු කිරුළ ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.