Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඟ පන්දු යවන්නෝ ඉතිහාසය නිර්මාණය කරති
1 වැනි එක්දින තරගය

දඟ පන්දු යවන්නෝ ඉතිහාසය නිර්මාණය කරති

editorial - 2024 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(දමින්ද විජේසූරිය)

සියලු අවාසි අබිමුව, අරමුණ අතනොහැර ක්‍රීඩා කළ, චරිත් අසලංක ඇතුළු ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (02 වැනිදා) පැවැති පළමු වැනි එක්දින තරගයේදී ඉන්දිය කණ්ඩායම ලකුණු 230 කට දවා ගනිමින්, දෙපිලම ලකුණු සමව තරගය අවසන් කළහ. 1982 සිටම, ශ්‍රී ලංකාවේ පැවැති එක්දින අන්තර්ජාතික තරග වලදී ලකුණු සමවීමෙන් අවසන් වූ පළමු තරගය ද මෙයයි. 

1975 සිටම එක්දින අන්තර්ජාතික තරග 919 කට සහභාගි වී ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඒවායින් තරග 6 ක් ලකුණු සමකිරීමෙන් අවසන් කර තිබේ. එහි පළමු වැන්න 1996 නොවැම්බර් මාසයේදී නවසීලන්ත කණ්ඩායම හමුවේ සාජා නුවරදී පැවැති තරගයක් විය. ශ්‍රී ලංකා කණ්ඩායම 1982 සිටම, සිය මව්බිමේදී එක්දින තරග 298 කට සහභාගි වී ඇතත්, ලකුණු සමවීමෙන් අවසන් කරගත් පළමු තරගය මෙයයි. 

ප්‍රබලතම පිතිකරුවන් 8 දෙනකුගෙන් සමන්විත වන ඉන්දිය කණ්ඩායම වරෙක කඩුලු 3 ක් දැවී ලකුණු 130 ක් ලබා සිටියේය. එහෙත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ අවසන් කඩුලු 7 ලකුණු 100 ක් ඇතුළත දවාගනිමින් තරගය සම කළහ. දුනිත් වෙල්ලාලගේ (39/2), චරිත් අසලංක (30/3) සහ වනිඳු හසරංග (58/3) එක්ව කඩුලු 8 ක් බෙදා ගත්හ. අසිත ප්‍රනාන්දු සහ අකිල ධනංජය අනෙක් කඩුලු දෙකේ හිමිකරුවෝ වූහ. 

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වයන් අනුව ඉතාමත් පහසු ඉලක්කයක් කරා යාම ඇරඹූ රෝහිත් ෂර්මා (58) සහ ෂුබ්මන් ගිල් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසි සේ පහර දෙමින් ඕවර 13 ක් ඇතුළත ලකුණු 75 ක් පුවරුවට එකතු කළහ. එහෙත් ලකුණු 12 ක් ඇතුළත රෝහිත් ෂර්මා, ෂුබ්මන් ගිල් සහ වොෂිංටන් සුන්දර් තිදෙනාම දැවී ගියද විරාට් කෝලි සහ ශ්‍රෙයාස් අයියර් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47 ක් එකතු කළහ. 

නැවතත් පන්දු හතක් ඇතුළත, විරාට් කෝලි සහ ශ්‍රෙයාස් අයියර් දෙදෙනාම දැවී යාමෙන් පසුව හදිසියේම තරගය ශ්‍රී ලංකාව දෙසට නැඹුරු වන්නට විය. කෝලි දැවී යාමට පෙර ඩක්වර්ත් - ලුවිස් සම ලකුණු සංඛ්‍යාව 130 ක් වූ අතර ඉන්දියාව ලකුණු 30 ක් ඉදිරියෙන් සිටියේය. එහෙත් අසිත ප්‍රනාන්දුගේ අති විශිෂ්ට පන්දුවකින් ශ්‍රෙයාස් අයියර් දැවී යාමෙන් පසුව ඩක්වර්ත් - ලුවිස් සම ලකුණු සංඛ්‍යාව 136 ක් වූයෙන් ඉන්දියානුවන්ගේ වාසිය ලකුණු 04 ක් දක්වා අඩුවිය. 

ලකුණු සංඛ්‍යාව 156 ක් ව තිබියදී ලෝකේෂ් රාහුල් දුන් උඩපන්දුව, ස්ලිප් හි සිටි, චරිත් අසලංක වෙතින් ගිළිහී යද්දී පුහුණුකරු ජයසූරිය හිස අත් බදාගත්තේය. එම අවස්ථාවේදී රාහුල්ගේ කඩුල්ල දවාගත හැකිවූයේ නම් තරගයේ වාසිය ශ්‍රී ලංකාව වෙතට ඇදගත හැකිවූවත්, ලෝකේෂ් රාහුල් (31) සහ අක්ෂර් පතෙල් (33) එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. එහෙත් ගිළිහී ගිය උඩපන්දුව වෙනුවට කඩුලු 3 ක් දවාගත් චරිත් අසලංක සිය කණ්ඩායම පරාජයෙන් බේරා ගත්තේය. 

ඕවර 50 කින් යුතු එක්දින අන්තර්ජාතික තරගයක් වීත්, ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 200 ක් ලබාගැනීමට දැඟලූ ආකාරය බලා සිටින්නට සිදුවීම ඛේදවාචකයක් යයි ප්‍රේක්‍ෂකයන්ට සිතුනාට සැක නැත. ශ්‍රී ලංකා පිලට ලකුණු 200 කඩඉම පනින්නට ඕවර 47 ක් අවශ්‍ය විය. ඒ කෙසේ වෙතත් පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 230 ක් ලබාගත් ආකාරය දැකගැනීමට සිටියේ ඉතාම සීමිත ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් පමණි. 

ඕවර 50 නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 230 ක් ලබාගත්තේ යන්තම් ජාම බේරා ගනිමිනි. 
තණතීරුව එන්න එන්නම මන්දගාමී වූ අතර වරක් අර්ශ්දීප් සිංගේ පන්දුවක් එන තෙක් පිත්ත ඔසවා නවතා තබාගැනීමට දුනිත් වෙල්ලාලගේට සිදුවිය. එවන් තණතීරුවකදී පැතුම් නිස්සංක (56) සහ දුනිත් වෙල්ලාලගේ (නොදැවී 67) ලබාගත්  අර්ධ ශතක දෙක නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මහත් අන්ධකාරයක ගිලී යන්නට තිබිණ. 

පිතිකරුවන් හයදෙනකු සමගින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුකරු සනත් ජයසූරියගෙන් ලැබී තිබුණේ පැහැදිළි උපදේශයකි. 

“කාට හරි හොඳ ආරම්භයක් ලැබුණොත්, ආයේ ඒක ඊළඟ පිතිකරුවාට ඉතුරු කරනවා එහෙම නෙමේ. තමන්ම තරගය ඉවර කරලා එන්න ඕනේ” යයි ජයසූරිය තම ක්‍රීඩකයන්ට කීවේය. ජයසූරියලාගේ කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව එහෙමය. 

ශ්‍රී ලංකා නායකයා, කාසියේ වාසිය දිනා පළමුවෙන්ම ලකුණු රැස්කිරීම තෝරා ගත්තද ඔහුගේ ඉලක්කයට යා නොහැකි විය. ඉන්දියාව වැනි පිතිකරුවන්ගෙන් ගහණ කණ්ඩායමක් හමුවේ ලකුණු 230 ක් යනු සොච්චමකි. ශ්‍රී ලංකා ඉනිමේ පන්දු 300 න් පන්දු 181 ක් නිළකුණු පන්දු විය. වෙනත් ආකාරයකින් නම් ශ්‍රී ලංකා ඉනිමේ පන්දු සංඛ්‍යාවෙන් 60.33% ක් ලකුණු ලබා නොගත් ඒවා විය. 

පැතුම් නිස්සංක එක් අන්තයකින් නැංගුරම දමාගෙන සිටියදී අනෙක් අන්තයේ සිටි පිතිකරුවෝ එකා පසුපස එකා දැවී ගියහ. ඉනිමේ අඩකටත් වැඩිය නිමා වී, 27 වැනි ඕවරයේදී 5 වැනි කඩුල්ල දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ සටහන් වූයේ 101 කි. එහෙත් පසුපෙළ පිතිකරුවෝ ධෛර්යවත් පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 230 ක් දක්වා ශ්‍රී ලංකා කණ්ඩයම කැඳවාගෙන ගියේ අවසන් ඕවර තුනේදී ලකුණු 29 ක් උදුරා ගනිමිනි. 

දුනිත් වෙල්ලාලගේ අද තරගයේදීත් තහවුරු කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයාගේ භූමිකාව තමන්ට බාරගත හැකි බවයි. පන්දු 59 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ වමත් පිතිකරුවා හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් ඊට ඇතුළත් කළ නමුත් ඔහු වැඩි වශයෙන් ලකුණු ලබාගත්තේ පිටියේ තිබූ හිදැස් අතරට පන්දුව යවමිනි. 

පන්දු 75 කට මුහුණ දුන් පැතුම් නිස්සංක ඒවායින් 9 ක් හතරේ සී්මාවට යැවීය. 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (2)

දඟ පන්දු යවන්නෝ ඉතිහාසය නිර්මාණය කරති
  • Chinthaka Saturday, 03 August 2024 10:15 AM

    මොහොමඩ් සිරාස්ට චමිඳු වික්‍රමසිංහව මාරුකළා නම් හරිනේ..

    Reply 0       0

    Nethmina Sunday, 04 August 2024 11:10 AM

    ගැම්මක්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.