Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අලුතෙන්ම අනාවරණය වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් රහස්‍ය ලේඛනයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ගැන නැවත වතාවක් කතාබහක් ඇතිවී තිබේ. බොහෝ විවාදසම්පන්න මාතෘකා සම්බන්ධයෙන් නිතරම නම පැටළුණ දයාසිරි ජයසේකර මහතාට මෙවර චෝදනා නැඟෙන්නේ ක්‍රීඩා ඇමැතිවරයාව සිටියදී හෙට්ටිපොළ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට තුන්වන පාර්ශ්වයක් වන ‘ජයසිංහ කන්ස්ට්‍රක්ටර්ස්’ නම් ආයතනයට තම තනතුර භාවිත කරමින් ක්‍රිකට් ආයතනයේ අරමුදල් අයුතු ලෙස ලබාදී ඇති යයි කියමිනි.
හෙට්ටිපොළ ක්‍රිකට් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය දරන ක්‍රිකට් සමාජයක් නොවන බැවින් තුන් වන පාර්ශ්වයක් වශයෙන් මෙසේ සෘජු මූල්‍යාධාර ලබාදීමට නොහැකි බව දැනගන්නට තිබේ. මෙවැනි තීරණ නිසා නිසි පරිදි ලියාපදිංචි වී තිබෙන සාමාජික ක්‍රීඩා සමාජවලට සාධාරණයක් ඉටුවන්නේ නැතැයි කියමින්ද, යහපාලන මූලධර්මවලටද එය පටහැනි යැයිද කතාබහට ලක් වී ඇත.
කළමනාකරණ කමිටු රැස්වීමේ වාර්තාවලට අනුව රු. 48,793,945/- සහ ඊට අදාළ බදු මුදලට සමාන මුදලක් ජයසිංහ කන්ස්ට්‍රක්ටර්ස් නමින් හඳුනාගෙන ඇති එම එකම ලන්සුකරු වෙත 2018 මාර්තු මස සෘජුවම ගෙවා ඇතැයි අනාවරණය වේ.
හෙට්ටිපොළ කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ දයාසිරි ජයසේකර මහතා හෙට්ටිපොළ ප්‍රදේශයේ ක්‍රිකට් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට මහත් බලාපොරොත්තුවෙන් පසුවන්නේ යැයි කුරුණෑගල ප්‍රදේශයෙන් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත ප්‍රධාන පෙළේ පාසල් රැසක්ම පිහිටි දිස්ත්‍රික්කයක් වන කුරුණෑගල ප්‍රධාන නගරයට කිලෝ මීටර් 50 ක් තරම් ඈතින් මෙම ක්‍රිකට් ක්‍රීඩා පිටිය ඉදිකිරීම සෑම දෙනාගේම මවිතයට හේතු වී තිබේ.
ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය සෑම දෙයක්ම ඇති වෙලගෙදර ක්‍රීඩාංගණය ක්‍රිකට් මධ්‍යස්ථානයකට වඩාත්ම උචිත මෙන්ම කුරුණෑගල නගරයට වඩාත් සමීපම ස්ථානය වන නමුත් හෙට්ටිපොළ ප්‍රදේශය හිටපු අමාත්‍යවරයාගේ ආසනය වන බැවින් මෙම ක්‍රීඩා මධ්‍යස්ථානය එහි ඉදිකිරීමට ඔහු උනන්දු වන බව ක්‍රිකට් ක්‍රීඩාව ගැන ප්‍රවීණත්වයක් උසුලන කුරුණෑගල ප්‍රදේශයේ අයෙක් පැවැසීය.
මෙම කාලසීමාවේ දී කලාපයේ III වැනි ශ්‍රේණියේ ක්‍රීඩා සමාජයක් වන හෙට්ටිපොළ ක්‍රිකට් සමාජයේ ප්‍රධානතම භූමිකාවක දයාසිරි ජයසේකර අමාත්‍යවරයා නිරතව සිටින බව දැනගන්නට ඇත. කාලයක් තිස්සේ පැවැති හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය වෙනුවෙන් ජීවන්ත කුලතුංග සහ තරිඳු මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන් රැසක්ම කොළඹින් ලබා ගැනීමට කටයුතු කරන්නේ යැයිද ආරංචි මාර්ග අනාවරණය කරයි.
ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් ප්‍රචාරය වූ අල් ජසීරා වාර්තා වැඩසටහනේදී කුලතුංග සහ මෙන්ඩිස් යන ක්‍රීඩකයන් දෙදෙනාම චෝදනාවට ලක් ව තිබේ. මේ තොරතුරු අනාවරණය වීමත් සමඟ ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් පළාත් සහ දිස්ත්‍රික් පුහුණුකරුවන් ලෙස දැරූ තනතුරුවලින් පහකළ බව ක්‍රිකට් පාලනාධිකාරිය තහවුරු කර තිබේ. මෙම තත්ත්වය මත එවැනි අයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන තරගාවලි සඳහා සහභාගී වීමට අවසර ලබන්නේ නැත.
හෙට්ටිපොළ ක්‍රිකට් සමාජය සමඟ තමන්ට වෘත්තීය මට්මේ සම්බන්ධයක් ඇතැයි යන්න ප්‍රතික්ෂේප කරන කුලතුංග තම උපන් ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩා සමාජයට උදව් කිරීමට අවශ්‍යව ඇතැයිද වැඩිදුරටත් කීවේය.
“වෘත්තීය මට්ටමෙන් මේ ක්‍රීඩා සමාජය සමඟ මට කිසිම සම්බන්ධයක් නැහැ. මම ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙක්. ක්‍රීඩා සමාජ ක්‍රිකට් කණ්ඩායම් පුහුණු කිරීමට මට අවසරයක් නැහැ. ඒත් ඔබ කල්පනා කරලා බලන්න කුරුණෑගල මගේ උපන් ප්‍රදේශය. මටත් ඕනෙ මගේ ප්‍රදේශයෙන් අනාගත ක්‍රීඩකයන් බිහිවෙනවා දකින්න. ඒ නිසා වරින් වර මම මගේ ගම් ප්‍රදේශයේ දරුවන්ට දැනුම බෙදා දීම සිදුකරනවා. එය එපමණයි ඊට වඩා දෙයක් නැහැ” යැයි කුලතුංග කීවේය.
ඡායාරූපය - ජයසිංහ කන්ස්ට්‍රක්ටර්ස් මුහුණුපොත ඇසුරෙනි
- 0055
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.