Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දර්ශා රට හැර යයි

දර්ශා රට හැර යයි

editorial - 2023 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි ඇගයීමක් නොලැබෙන රටක ජීවත්වීමේ කලකිරීම මැද තමා ඕස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණි බව හිටපු සුපිරි කෙටි ධාවන ශූරි හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ හිටපු උප සභාපතිනි කේ.වී. දමයන්ති දර්ශා මහත්මිය ‘මෙල්බර්න්’ නුවර සිට ‘ලංකාදීප’යට පැවසුවාය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ පදිංචිය අත්හැර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට පැමිණ සිටින්නේ සිය සැමියා ඇතුළු දූ දරුවන් තිදෙනා සමගය. ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩකයන්ගේ සංගමයේ උප සභාපති ධුරයක් ද දැරූ ඇය මේ වන විට 48 හැවිරිදි වියේ පසුවන්නීය.

ඔලිම්පික් පදක්කම්ලාභිණී සුසන්තිකා ජයසිංහ මහත්මියට පමණක් දෙවැනි වන ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම කෙටි ධාවන ශූරියන් දෙදෙනාගෙන් අයකු වන දර්ශා මහත්මිය වෘත්තියෙන් මාස් හොල්ඩින්ස් ආයතනයේ මානව සම්පත් ඒකකයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිනියක ලෙස වසර 20කට ආසන්න කාලයක් සේවය කර තිබේ.

එකල ආසියාව පුරා ‘කළු වෙළඹ’ යන අන්වර්ථ නාමයෙන් පතළ වූ ඇගේ සුපිරි දස්කම් වසර 2006 දී නිමාවට පත්වන විට මීටර 100 - මීටර 200 හා මීටර 400 යන කාන්තා ඉසව්වලින් ආසියානු ශූරතා හා ආසියානු ක්‍රීඩා රන් පදක්කම් හතක් ප්‍රධාන වශයෙන් දිනා තිබුණි.

 ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් උළෙල තුනක් ද ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලි හතරක් ද හා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල තුනක් ද තරග වැදී තිබේ.

 1999 කත්මණ්ඩු නුවර දී ඇය විසින් පිහිටු වූ සාග් ක්‍රීඩා උළෙලේ මීටර 100 - මීටර 200 හා මීටර 400 යන කාන්තා ඉසව් හි තරග වාර්තා තවදුරටත් ඇය සතුව පවතී. 1992 සිට වසර 2006 දක්වා මෙම සුවිශේෂි වූ සුපිරි දක්ෂතා දක්වන අතර ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 200 (කාන්තා) ඉසව්වේ තරග වාර්තාව (තත්පර 22.48) 1998 සිට මේ දක්වා ඇය සතු වන අතර වසර 2000 සිට මීටර 400 (කාන්තා) ඉසව්වේ ආසියානු ශූරතා තරග වාර්තාවට (තත්පර 51.05) ඇය තවමත් හිමිකම් කියන්නීය.

ආසියානු ශූරතා මෙම තරග වාර්තාව ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බවට ද තවදුරටත් සුරැකිව පවතී. ඇය දිනූ ජාත්‍යන්තර සහය දිවීමේ පදක්කම් ද ගණනාවකි.

මෙල්බර්න් නුවර පදිංචියට පැමිණීම ගැන ‘ලංකාදීප’ය කළ විමසුමක දී දමයන්ති දර්ශා මහත්මිය මෙසේ ද පැවසුවාය.
‘‘මම ලංකාව අමතක කරන්නේ නෑ. ඉඩ ලැබෙන අවස්ථාවල දී මම ලංකාවට ඇවිත් යනවා. මම වසර 2006 දී තරග බිමෙන් සමුගත්තා. එදා ඉඳලා අද දක්වා මම බලාගෙන හිටියා රට මොනවද මගෙන් ලබා ගන්නේ කියලා. නමුත් නිසි ඇගයීමක් මා වෙනුවෙන් කෙරෙනවා දැක්කේ නෑ. මේක අපේ රටේ ක්‍රමවේදයේම වරදක්. ක්‍රීඩාව විතරක් නෙමේ රටේ කිසිදු කටයුත්තක් නිසි ක්‍රමවේදයකට සිද්ධවෙන්නේ නෑ.

ඒ තුළින් මාගේ දරුවන්ගේ අනාගතය ගැනත් මට හිතන්න සිදුවුණා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය අපි වගේ පිළිගැනීමක් ඇති අයට වැඩ කරන්න පුළුවන් තැනක් නෙමේ. මා එහි උප සභාපතිනිය වෙලා ඉන්නකොට ඒක හොඳටම අත්වින්දා.

ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩකයන්ගේ සංගමයේ උප සභාපතිනියක් හැටියට මම කටයුතු කළා. එතනදි අපිට යම් සේවයක් කිරීමට හැකි වුණා. නමුත් අපි මේ සංගමය පිහිටුවන කොට ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා ඒක තහනම් කරන්න කියලා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පැමිණිලි කරන්න ගත්තා.

දැන් ඔය ජාතික ඔලිම්පික් කමිටුවේ ශ්‍රවණාගාරය කාගේ නමින් ද නම් කරලා තිබෙන්නේ? ඒක නම් කළ යුත්තේ මේ රටේ ඔලිම්පික් පදක්කමක් දිනාගත් එකම ක්‍රීඩිකාව වන සුසන්තිකා ජයසිංහගේ නමින් බවයි මම විශ්වාස කරන්නේ. ක්‍රීඩා අමාත්‍යාංශය ඔවුන්ගේ ශ්‍රවණාගාරය ‘ඩන්කන් වයිට්’ නමින් නම් කරලා ඒ ආදර්ශය දුන්නා.

අර්ජුන රණතුංග මහතා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති වුණාට පස්සේ ජාතික ක්‍රීඩා සංගම් නිසි පාලනයට ගන්න රෙගුලාසි මාලාවක් ක්‍රීඩා අමාත්‍යාංශයට හඳුන්වා දුන්නා.

නමුත් ජාතික ක්‍රීඩා සංගම් එකතු වෙලා ඒකට නඩු කියන්න ගත්තා. එතනදි මලල ක්‍රීඩා ආයතනය නඩු කියන්න ආයතනයේ සල්ලි වියදම් කරන්න යෝජනාවක් ගේනවා. නමුත් විධායක සභාවේ දී මම විතරක් ඒකට විරුද්ධව අත එසෙව්වා.

මලල ක්‍රීඩා ආයතනය ශත සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ උත්සවයේදීවත් මේ රටේ පිළිගත් කිසිදු මලල ක්‍රීඩකයෙක් ක්‍රීඩිකාවක් ඇගයීමට ලක් කළේ නෑ. අඩු තරමින් ඒ සඳහා ඔවුන්ට ආරාධනා කළේවත් නෑ.

අන්තර් ජාතික තරගමාලාවලට ශ්‍රී ලංකාව සහභාගි වෙනකොට මේ රටේ නිලධාරීන්ට මේ කියන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමතකයි. මම හිතන්නේ ඔවුන්ට අපිව මතක් වෙන්නේ ක්‍රීඩාංගණයේ දී වාර්තා කියනකොට අපේ නම් සඳහන් කරන කොට විතරයි.

මට මෙතනදි කියන්න හදන්නේ අපේ දක්ෂතාවලට රටෙන් ඇගයීමක් නොලැබුණාම කියන එක නොවෙයි. ජාත්‍යන්තර පදක්කම් දිනා ගත් අවස්ථාවල දී අපිට යම් ප්‍රමාණයක ඇගයීම් ලැබුණා.

අදටත් අපිට රටේ ජනතාව පාරේ බැහැලා යනකොට සලකනවා. උදව් කරනවා. ඒක තමයි අපිට මෙතනදි ඉතිරි වුණ එකම දේ. ඕස්ට්‍රේලියාවෙ ඉන්න අතර මලල ක්‍රීඩා විශේෂඥ පුහුණුකරු පාඨමාලාවක් හදාරන්නත් මම සියලු කටයුතු සූදානම් කර ගෙනයි මෙල්බර්න් ආවේ.


අදහස් (0)

දර්ශා රට හැර යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.