Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දසුන් දංගෙඩිය අබියස
ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය

දසුන් දංගෙඩිය අබියස

editorial - 2023 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

සිම්බාබ්වේහිදී ලබන මාසයේදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අත්කරගන්නා ප්‍රගතිය මත දසුන් ශානකගේ ක්‍රිකට් අනාගතය රැඳී පවතින බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

මෙම සුදුසුකම් තේරීමේ තරගාවලිය සඳහා කණ්ඩායම් 10 ක් සහභාගි වෙති. එහෙත් ලබන ඔක්තෝබර් - නොවැම්බර් මාසවලදී ඉන්දියාවේදී පැවත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගන්නේ සිම්බාබ්වේහිදී තරග වදින කණ්ඩායම් 10 අතුරින් කණ්ඩායම් දෙකක් පමණි. එක්දින තරග බිමේ ප්‍රබල සටන්කාමීන් වන ශ්‍රී ලංකාව මෙන්ම, බටහිර ඉන්දීය දූපත්, සිම්බාබ්වේ සහ අයර්ලන්තය ද සිම්බාබ්වේහිදී මුහුණට මුහුණ ගැටෙනු ඇත.

වසර දෙකකට ඉහතදී (2021) පැවැති එංගලන්ත සංචාරයෙන් පසුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් එක්දින අන්තර්ජාතික තරග 25 න් තරග දෙකක් වර්ෂාව නිසා අතරමග අතහැර දමන ලදි. ඉතිරි තරග 23 න් තරග 9 ක් පමණක් ජයගත් ශ්‍රී ලංකාව තරග 14 ක් පරාජය වී තිබේ.

මෙම තරග 23 දී අත්කරගත් ජයග්‍රහණ හෝ පරාජයන් ගණන පැත්තක තියා, එම තරග වලදී සිදුවූයේ කුමක්ද යන්න විමසන කල්හි කැපී පෙනෙන යථාර්ථය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ සහ මැදපෙළ පිතිහරඹය දුර්වල වීමෙන් මෙම තරග පරාජය වී ඇති බවයි.

1980 දශකයේදී එක්දින තරගයක් ජයගැනීම සඳහා ලකුණු 250 කට යන්තමින් වැඩි ලකුණු සංඛ්‍යාවක් ප්‍රමාණවත් වූයේය. එහෙත් 1996 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවන් වූ සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ දෙදෙනා කළ විප්ලවීය පිතිහරඹය හේතුවෙන් නවදිල්ලියේදී ලකුණු 271 ක් ලබාගත් ඉන්දියාවටවත් තරගය බේරාගත නොහැකි විය. එතැන් සිට එක්දින තරගයක ආරක්‍ෂාකාරී ලකුණු සංඛ්‍යාව 280 දක්වා ඉහළ ගියේය.

විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යාප්තියත් සමගින්, එක්දින තරගයකදී පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමකට එම තරගය ජයගැනීම සඳහා ලකුණු 310 ක් හෝ ඊට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයට ක්‍රීඩා කළ තරග 23 දී ලකුණු 300 ඉක්මවා ගොස් ඇත්තේ අවස්ථා 5 කදී පමණි. එහෙත් එයින් අවස්ථා දෙකකදීම (ඕස්ට්‍රේලියානුවන් හමුවේ 300/7) සහ (ඉන්දියානුවන් හමුවේ 306/8) ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී තිබේ.

අනෙක් අතට මෙම තරග 23 දී, දෙවැනිව පන්දුවට පහර දෙමින් තරග ජයගත් අවස්ථා 4 හැරුණු විට, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 250 ඉක්මවා ලබාගෙන ඇත්තේ අවස්ථා 11 කදී පමණි. අවසන් එක්දින තරග 4 දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබාගැනීම් සටහන් වන්නේ 215 ක්, 73 ක්, 76 ක් සහ 157 ක් ලෙසිනි. පිතිහරඹයේ කඩා වැටීම සම්බන්ධයෙන් ඊටත් වඩා අටුවා ටීකා උවමනා නැතත්, තවත් කිහිපයක් තිබේ.

මෙම තරග 23 දීම ශ්‍රී ලංකා පිතිකරුවන් සම්පූර්ණ ඕවර 50 ට මුහුණ දී ඇත්තේ ද ඉනිම 9 කදී පමණි. දෙවැනි වර පන්දුවට පහර දෙමින් ලබාගත් ජයග්‍රහණ 4 හැරෙන්නට, අන් සියලු අවස්ථාවලදී ශ්‍රී ලංකා කණ්ඩායම 50 වැනි ඕවරයට පෙර දැවී ගොස් තිබේ.

මේ වසර 2021 ජූනි 29 වැනිදා සිට ගෙවීගිය වසර දෙකක කාලයේදී ශ්‍රී ලංකාව සහභාගි වූ තරග 25 ක සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණයකි. මෙම තරග 25 න් 20 ක නායකයා වශයෙන් කටයුතු කර ඇත්තේ වත්මන් නායක දසුන් ශානකය.

දසුන් ශානකගේ නායකත්වය සම්බන්ධයෙන් තේරීම් කමිටු නිලධාරීන් අතර ඇත්තේ පොදු එකඟතාවකි.

“නායකත්වය නැති වුණොත් එයාට කණ්ඩායම් ස්ථානයවත් ඉතිරි වෙන්නේ නෑ”'යයි ඔව්හු කතාවෙමින් සිටිති. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීමට මේ වේලාව නොවන බවද ඔවුන්ගේ පොදු එකඟතාව වී තිබේ.

පොදු එකඟතාව එසේ වුවත්, ශ්‍රී ලංකා කණ්ඩායම 2014 දී විස්සයි-20 ලෝක ශූරයන් වූයේ තරගාවලිය අතර මැද නායකත්වය වෙනස් කිරීමෙන් බවද ඉතිහාසයේ ලියැවී තිබේ.

එබැවින් සියලු අභියෝග මැද ශ්‍රී ලංකා කණ්ඩායම හරාරේ කඩුල්ලෙන් පන්නවා ගැනීමට දසුන්ට සිදුවී තිබේ. සෙසු ක්‍රීඩකයන්ගේ සහයෝගය ඇතත් නැතත්, තනිවම හෝ එය කිරීමට ඔහුට සිදුවී තිබේ.


අදහස් (0)

දසුන් දංගෙඩිය අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.