Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කොළඹ ශැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී ඊයේ (14 වැනිදා) පැවැති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මිලකට අළෙවි වූ ක්‍රීඩකයා බවට පත්වීමට වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුෂංක සමත් විය. ඇමරිකානු ඩොලර් 20,000 ක මූලික ලන්සුවක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් වී සිටි මධුෂංකගේ සේවය, සිය කණ්ඩායමට එක්කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් 92,000 ක් ගෙවීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෝ ඉදිරිපත් වූහ. එම මුදල ශ්‍රී ලංකා රුපියල් දෙකොටි අසූතුන් ලක්ෂය ඉක්මවීය.
වෙන්දේසියේදී දෙවැනි වැඩිම මිලකට අළෙවි වූ ක්‍රීඩකයා බවට තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසංලක පත්වූයේ ඇමරිකානු ඩොලර් 40,000 ක මූලික ලන්සුවක් යටතේ වෙන්දේසියට ඉදිරිපත් වී සිටි ඔහු සේවය, එම මුදල මෙන් දෙගුණයකට එනම් ඇමරිකානු ඩොලර් 80,000 කට මිලදී ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පියවර ගැනීමත් සමගිනි. එම මුදල ශ්‍රී ලංකා රුපියල් දෙකොටි හතලිස් හය ලක්ෂයක් පමණ විය.
තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු වෙන්දේසියේදී තෙවැනි ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයෝ වූහ. ඔවුන් දෙදෙනා සඳහාම ඇමරිකානු ඩොලර් 40,000 ක මූලික ලන්සුවක් ඉදිරිපත් වී තිබූ අතර දෙදෙනාම අලෙවි වූයේ ඇමරිකානු ඩොලර් 76,000 කටය. එම මුදල ශ්‍රී ලංකා රුපියල් දෙකොටි තිස් හතර ලක්ෂයකට ආසන්න විය. දීර්ඝ ලන්සු තැබීමමේ වට දෙකකට පසුව ධනංජය මෙන්ම බිනුරද තම කණ්ඩායමට එක්කර ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායමේ හිමිකරුවෝ සමත් වූහ.
ඇමරිකානු ඩොලර් 72,000 ක මුදලකට දිනේෂ් චන්දිමාල්ගේ සේවය ලබාගැනීමට ඉදිරිපත් වූ බී-ලව් කැන්ඩි කණ්ඩායම, දුෂ්මන්ත චමීර සිය කණ්ඩායමට ඇතුළත් කර ගත්නේ ඇමරිකානු ඩොලර් 70,000 ක මුදලක් වැය කරමිනි. එ් අනුව චන්දිමාල්ට රුපියල් දෙකොටි විසිඑක් ලක්ෂයක්ද, චමීරට දෙකෝටි පහලොස් ලක්ෂයක්ද හිමිවිය. වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයන් අතර 8 වැනි ස්ථානයට පත්වූයේ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ය. ඇමරිකානු ඩොලර් 60,000 කට එනම් ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි අසූහතර ලක්ෂකට ඔහුගේ සේවය මිලදී ගනු ලැබුවේද බී-ලව් කැන්ඩි කණ්ඩායම විසිනි.
ඇමරිකානු ඩොලර් 20,000 ක මූලික ලන්සුවක් නියම වී තිබූ කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම මිලදී ගැනීම සඳහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර තියුණු සටනක් පැවැත්විණ. දීර්ඝ ලන්සු තැබීමකින් අනතුරුව ඇමරිකානු ඩොලර් 68,000 ක මුදලකට සධීරගේ සේවය ලබාගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වූ අතර ඒ වෙනුවෙන් ඔවුන් වැය කළ මුදල ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි නම ලක්ෂයකි. ඒ අනුව ක්‍රීඩක වෙන්දේසියේදී සධීර වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයන් අතර 7 වැනි ස්ථානයට පත් විය.
වෙන්දේසියේදී ඇමරිකානු ඩොලර් 50,000 සීමාව ඉක්මවා ගිය සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා වූයේ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලය. එහිදී වෙල්ලාලගේ ඇමරිකානු ඩොලර් 56,000 ක මුදලකට (රුපියල් එක් කෝටි හැත්තෑ දෙලක්ෂයකට) මිලදී ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමත්, දික්වැල්ල ඇමරිකානු ඩොලර් 54,000 ක මුදලකට (රුපියල් එක් කෝටි හැටහය ලක්ෂයකට) මිලදී ගැනීමට කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමත් ඉදිරිපත් විය.
නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක චැඩ් බෝව්ස් මෙම වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා බවට පත්වූ අතර ඇමරිකානු ඩොලර් 58,000 ක මිලකට ඔහුගේ සේවය මිලදී ගැනීමට ඉදිරිපත් වූයේ ගොල් ටයිටන්ස් කණ්ඩායමය. එම මුදල රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂය ඉක්මවීය. කෙසේ වුවත් ටමීම් ඉක්බාල්, පෝල් ස්ටර්ලින්, නජිබුල්ලා සද්රාන්, කාර්ලෝස් බ්‍රැත්වේට්, සිකන්දර් රාසා, ඉමාඩ් වසීම්, ටමීම් ඉක්බාල්, ලිටන් දාස්, ටිම් සෙයිෆට්, බෙන් මැක්ඩමොට්, ඇන්ඩෘ ටයි, සර්ෆරාස් අහමඩ්, ඉම්රාන් තාහිර්, ඉෂ් සෝධි, ඉමාම් උක්හක් සහ ජොන්සන් චාල්ස් වැනි විදෙස් ක්‍රීඩකයන් රාශියක් මිලදී ගැනීමට එහිදී කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීය.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රිස් ලින්, ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩක නූර් අහමඩ් මෙන්ම පාකිස්තාන ක්‍රීඩකයන් වන ෂොයිබ් මලික් සහ ඉෆ්තිකර් අහමඩ්ද මෙම වෙන්දේසියේදී ඇමරිකානු ඩොලර් 50,000 ක මුලකට එනම් රුපියල් එක් කෝටි පනස්තුන් ලක්ෂයකට අලෙවි වූ අතර එය විදෙස් ක්‍රීඩකයකු අලෙවි වූ දෙවැනි ඉහළම මිල ලෙසද සටහන් විය. එහිදී ක්‍රිස් ලින්ගේ සහ මලික්ගේ සේවය ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමත්, ඉෆ්තිකර්ගේ සේවය ලබාගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමත්, නූර් අහමඩ්ගේ සේවය ලබාගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායමත් ඉදිරිපත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.