Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිමුත් - චන්දිමාල් ඉනිම ගොඩගනිති

දිමුත් - චන්දිමාල් ඉනිම ගොඩගනිති

Nisanka Sandeepani - 2017 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබීහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයවූ අද (28 වැනිදා) තරගය නතර කරනවිට පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකාව පළමු ඉනිම සදහා කඩුලු 4 ක් දැවි ලකුණු 227 ක් රැස්කිරීමට සමත්විය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 60 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 42 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර පස්වැනි කඩුල්ල සදහා ලකුණු 66 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ඔවුහු සමත්වූහ.

චන්දිමාල්ගේ 13 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා වූයේ පන්දු 154 කදීය.

ලකුණු 198 කට කඩුලු 4 ක් ලෙස ලකුණු පුවරුව දිස්වන විටදී මොහොමඞ් අබ්බාස්ගේ පන්දුවක් හමුවේ දිනේෂ් චන්දිමාල් කඩුල්ල මුවා කළේ යැයි කළ ඉල්ලීමකට ප්‍රධාන විනිසුරුගෙන් අනුමැතිය ලැබිණ. එහෙත් ඉන් සෑහීමකට පත්නොවු චන්දිමාල් විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය වෙත ගියේය.

එහිදි පන්දුව කඩුල්ලේ නොවැදි යන පන්දුවක් ලෙස තෙවැනි විනිසුරුවරයා විසින් තීරණය කිරීමත් සමගින් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව චන්දිමාල්ට ලැබුණද මුළු ලකුණු සංඛ්‍යාව 218 ක් වනවිටදී නැවතත් ඔහු කඩුල්ල මුවා කළේ යැයි යසීර් ෂා ඉල්ලීමක් කළේය. එවර ප්‍රධාන විනිසුරුවරයා එය ප්‍රතික්‍ෂේප කළද එයින් සෑහීමකට පත්නොවූ පාකිස්තාන නායක සර්ෆාස් අහමඞ් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත ගියේය.

ප්‍රතිඵලය වූයේ චන්දිමාල්ට තවදුරටත් පිටියේ රැඳී සිටීමට අවස්ථාව ලැබීමත් පාකිස්තානු පිලේ විතීවි අවස්ථා දෙකම අහෝසි වීමත් මිස අනෙකක් නොවේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නව නීතිරීති මෙම තරගයේ සිට ක්‍රියාත්මක වන බැවින් දෙවැනි නව පන්දුව ලබාගැනීමත් සමගම විතීවි අවස්ථා අලුතෙන් හිමි නොවේ. නව නිතී වලට අනුව එක් ඉනිමකට ලැබෙන්නේ විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය සදහා යෑමට අවස්ථාවන් දෙකක් පමණි.

නිරෝෂන් දික්වැල්ල අවස්ථා දෙකකදී (ලකුණු 2 දී සහ 7 දී) යසීර් ෂාගේ පන්දු හමුවේ දැවී ගියේ යැයි ඉල්ලීම් කළද විනිසුරු විසින් එය ප්‍රතික්‍ෂේප කිරීමත් සමගින් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යොමු කළද එම අවස්ථා දෙකේදීම ඉන් ගැලවීමට දික්වැල්ල සමත් විය.

දිවා ආහාරයට පෙර කඩුලු තුනක් දවාගැනීමට පාකිස්තාන පන්දුයවන්නෝ සමත්වුවද දිවා ආහාරයෙන් පසුව පැය හතර හමාරක පමණ කාලයක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඔවුන්ට දවාගැනීමට හැකිවූයේ එක් කඩුල්ලක් පමණි. එයද දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමෙනි.

දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා ශ්‍රී ලංකා ඉනිම ඇරඹීමට පිටියට පිවිසි අතර ලකුණු පුවරුව ලකුණු 34 ක් වනවිට පළමු කඩුල්ල ලෙස කෞෂාල් සිල්වා දැවී ගියේය. හසන් අලීගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් සිල්වා දැවීයන විට ඔහුට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 12 ක් පමණි. කලකට පසුව නැවතත් ටෙස්ට් තරග සදහා එක්වූ ළහිරු තිරිමාන්නට ස්ථාවර වීමට අවස්ථාවක් නොදෙමින් ලකුණු ලබාගැනීමට පෙරම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමින් පිටියෙන් ඉවත් කිරීමට යසීර් ෂා සමත්විය.

අංක 3 ස්ථානයේ හොඳින් පන්දුවට පහර දෙමින් සිටි කුසල්  මෙන්ඩිස් වෙනුවට මෙම තරගයේදී අංක 3 ස්ථානය සඳහා යොදාගත්තේ මාස 15 ක් පුරා ටෙස්ට් තරගයකට ක්‍රීඩා නොකළ ළහිරු තිරිමාන්නයි. තිරිමාන්න අවසන් වරට ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩා කළේ 2016 දී එංගලන්ත පිලට එරෙහිව ලෝඞ්ස් පිටියේදීය.

තිරිමාන්න එම ස්ථානයට රිංගවීම නිසා පිතිකරු ලයිස්තුවේ පහළට තල්ලු වූයේ කුසල් මෙන්ඩිස් පමණක් නොවේ. අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරමින් සිටි නායක චන්දිමාල්ද පිතිකරු ලයිස්තුවේ පහළට තල්ලු වී ගියේය. කෙසේ වෙතත් මෙම තරගය සඳහා පන්දු යවන්නන් පස්දෙනකු ක්‍රීඩා කරන බැවින් පිතිකරු අංශයේ පසුපෙළ ශක්තිමත් කිරීමත් මෙම තීරණයෙන් බලාපොරොත්තු වූවා විය හැකිය.

දිවා ආහාරයට සුළු මොහොතකට පෙර නැවතත් ක්‍රීයාත්මකවූ යසීර් ෂා ලකුණු 10 ක් ලබාසිටි කුසල් මෙන්ඩිස් දවාගනිමින් ශ්‍රී ලංකා පිල අසීරු අඩියකට තල්ලුකර දැමීමට සමත්විය. කුසල් මෙන්ඩිස්ගේ කඩුල්ල දවාගැනිමත් සමගින් අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 150 ක් දවාගත් දඟපන්දු යවන්නා බවට පත්වෙමින් ඕස්ටේ්‍රලියාවේ ක්ලියරි ග්‍රිමිට් විසින් තබා තිබූ වාර්තාව බිඳ හෙළීමට යසීර් ෂා සමත්විය. ටෙස්ට් තරග 27 කදී යසීර් ෂා මෙම වාර්තාව තැබූ අතර මීට පෙර ක්ලියරි ග්‍රිමිට් මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබූයේ තරග 28 කදී කඩුලු 150 ක් දවාගනිමින්ය.

ලකුණු 93 ක් ලබාසිටියදී ඉතා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුව දිමුත් කරුණාරත්න දැවී යන විටදී සිවුවැනි කඩුල්ල සදහා දිනේෂ් චන්දිමාල් සමගින් එක්ව ලකුණු 100 ක සම්බන්ධතාවයක් ගොඩනගා තිබුණි. ලකුණු 61 කට කඩුලු 3 ක් දැවී තිබියදී කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම නායක චන්දිමාල් සමගින් එක්ව නැවත ගොඩනැගූ දිමුත් කරුණාරත්න සිය 13 වැනි ටෙස්ට් අර්ධ ශතකය පන්දු 114 කදි හතරේ පහර දෙකක් සමගින් ලබාගැනිමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

 


අදහස් (0)

දිමුත් - චන්දිමාල් ඉනිම ගොඩගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.