Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිමුත් - චන්දිමාල් විශිෂ්ට සම්බන්ධතාවක

දිමුත් - චන්දිමාල් විශිෂ්ට සම්බන්ධතාවක

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආරම්භක පිතිකරුවකු වශයෙන් අති විශිෂ්ට පිතිහරඹයක යෙදුණු දිමුත් කරුණාරත්න (නොදැවී 133) සහ නායක දිනේෂ් චන්දිමාල් (නොදැවී 49) එක්ව ඩුබායිහි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර ස්ථානයක් කරා කැඳවාගෙන ගියහ.

ශ්‍රී ලංකාවේ පළමු වැනි දිවා/රාත්‍රී ටෙස්ට් තරගය වූ මෙම තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 254 ක් ලබා සිටියේය.

පළමු ටෙස්ට් තරගයේදීත් ලකුණු 93 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ජයගහණයේ පදනම දැමූ දිමුත් කරුණාරත්න අද සවස ක්‍රීඩාව නතර කරන විට නොදැවී ලකුණු 133 ක් ලබා සිටියේ පන්දු 281 කට මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 15 කින් සහ යසීර් ෂා හමුවේ ගැසූ දැවැන්ත හයේ පහරකින් සමන්විත විය.

දිගු කලකට පසුව වඩාත් සුබවාදී ලෙසින් ටෙස්ට් තරගයකට පිළිපන් දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැංවූයේ ඕවර 23 ක් ඇතුළත ලැබුණු දුර්වල පන්දු සියල්ලටම පාහේ නිසි පිළිතුරු දෙමිනි. කරුණාරත්න සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කෝඩුකාර පිතිකරු සධීර සමරවික්‍රම ඉතාමත් අලංකාර පිතිහරඹයකින් ලබාගත් ලකුණු 38 කට පසුව දැවී ගියද පිතිකරුවකු වශයෙන් ඔහු විද්‍යමාන කළ කුසලතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත බලාපොරොත්තු ඉහළ නංවන්නක් විය.

සමරවික්‍රමත් සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාම ලකුණු 5 ක් ඇතුළත දැවී යාම නිසා පිටියට පිවිසි නායක දිනේෂ් චන්දිමාල් ඉනිමේ කඩාවැටීම නතර කළේ එතෙක් පැවැති ලකුණු ලබාගැනීමේ වේගය තරමක් අඩාළ කරමිනි.

කරුණාරත්නට ලකුණු කරා යන්නට ඉඩහරිමින් තමන්ගේ කඩුල්ල ආරක්‍ෂා කරගත් ශ්‍රී ලංකා නායකයා දිනයේ අවසන් කොටසේදී අලංකාර පහර කිහිපයකින්ම පාකිස්තානුවන්ට සංග්‍රහ කළේය. කරුණාරත්න සහ චන්දිමාල් දෙදෙනා රාත්‍රී ආහාර විවේකයෙන් පසුව තරගය පැවැති හෝරා දෙක පුරාම තමන්ගේ කඩුලු ආරක්‍ෂා කරගනිමින් ලකුණු 80 ක් කණ්ඩායමට එකතු කළහ. දෙදෙනා අතර පැවැති සිවුවැනි කඩුල්ලේ අඛණ්ඩ සම්බන්ධතාව 118 කි.

සුපුරුදු ආරක්‍ෂාකාරී පිළිවෙතින් මිදී, දුර්වල පන්දුව දුටු තැන පහර දුන් දිමුත් කරුණාරත්න සිය හත්වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළේ වමත් වේග පන්දු යවන්නා වන මෙහොමඞ් අමීර් හමුවේ පිට පිටම ගැසූ හතරේ පහර දෙකකිනි. පන්දු 197 ක දී ලබාගත් ශතකයට හතරේ පහර 14 ක් ඇතුළත් වී තිබිණ.

සැබෑ ටෙස්ට් පිතිකරුවකු ලෙසින් පන්දු යවන්නන්ගේ ඉවසීම පරීක්‍ෂා කළ කරුණාරත්න අලංකාර ස්ටේ්‍රට් ඩ්‍රයිව් පහර මෙන්ම බලය යොදා ගැසූ පුල් පහරවලින් පන්දුව හතරේ සීමාව කරා ඇදී ගියේ පාකිස්තානුවන්ට සිතන්නටවත් කාලයක් ඉතිරි නොකරමිනි.

කරුණාරත්න සහ චන්දිමාල් අතර පැවැති සම්බන්ධතාව බිඳ දැමීමට තිබූ සියලුම උපක්‍රම භාවිතා කළ පාකිස්තානු නායකයා දිනයේ අවසන් ඕවර කිහිපයේදී තමන්ට තිබූ විනිසුරු තීරණ විමසීමේ (විතීවි) අවස්ථා දෙකම අහිමි කරගත්තේය. චන්දිමාල් ලකුණු 38 ක් ලබා සිටියදී මොහොමඞ් අමීර්ගේ පන්දුවකින් කඩුල්ල මුවා කළේ යයි කළ ඉල්ලීමක් අපතේ ගියේ පන්දුව කඩුල්ල අසළින්වත් නොයන බව රූපවාහිනී ප්‍රතිදර්ශන වලින් තහවුරු වීමෙනි. චන්දිමාල් ලකුණු 47 ක් ලබා සිටියදී මොහොමඞ් අබ්බාස් කළ තවත් එවැනිම ඉල්ලීමක් අපතේ ගියේ පිතිකරුවාගේ පා ආවරණයේ වැදී හතරේ සීමාව කරා ඇදී ගිය පන්දුව ඊට මොහොතකට පෙර පිත්තේ ගැටුණු බැවිනි.

අබුඩාබිහිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදීත් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම එදා කඩුලු 3 ක් දැවී ලබාගත්තේ ලකුණු 63 ක් පමණි. එහෙත් රෝස පැහැ පන්දුවෙන් ටෙස්ට් තරගයට පිවිසි පළමු අවස්ථාවේදීම පැරණි පසුබෑම් අමතක කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ තේ පානයට පෙර ඕවර 28 කදී ලකුණු 96 ක් ලබාගත්හ. තේ පානයත් රාත්‍රී ආහාර විවේකයත් අතර ලකුණු 78 ක් ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ රාත්‍රී ආහාරයෙන් පසුව තවත් ලකුණු 80 ක් එකතු කරගත්හ. එහි වටිකාම ඇත්තේ දිනය පුරාම බිඳ වැටුණේ කඩුලු 3 ක් පමණක් බැවිනි.

සධීර සමරවික්‍රම සහ ළහිරු ගමගේ මෙම තරගයේදී ශ්‍රී ලංකා ටෙස්ට් හිස්වැස්ම දිනාගත් අතර ආබාධයක් හේතුවෙන් ළහිරු තිරිමාන්න මෙම තරගයට ක්‍රීඩා නොකරයි.

 

 

 


අදහස් (0)

දිමුත් - චන්දිමාල් විශිෂ්ට සම්බන්ධතාවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.