Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධනුෂ්ක යළිත් දේශීය තරග බිමට

ධනුෂ්ක යළිත් දේශීය තරග බිමට

editorial - 2023 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔහු නියෝජනය කළ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පනවා තිබූ දේශීය තරග තහනම ඉවත් කළ බවත්, ඒ අනුව ඔහුට මේ දින වල පැවැත්වෙන අන්තර් සමාජ එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වන බවත් එම ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු ලේකම් අෂාන් ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 

ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවකට ලක්වූ ධනුෂ්ක, වසරක පමණ කාලයකට පසුව එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරිණ. 

එම කාල සීමාව තුළ ධනුෂ්කට එරෙහිව තරග තහනමක් පනවා තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සිදුවීමට අදාල නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් වීමෙන් අනතුරුව එම තහනම ඉවත් කිරීමට පියවර ගත්තේය. 

කෙසේ වුවත් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පනවා තිබූ දේශීය තරග තහනම ඉවත් නොවීම හේතුවෙන් ඔහුට මෙවර අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග කිහිපයට සහ අන්තර් සමාජ එක්දින තරගාවලියේ මුල් තරග කිහිපයට ක්‍රිඩා කිරීමේ අවස්ථාව අහිමි විය. 

‘ලංකාදීප’ කළ විමසුමකදී එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු ලේකම් අෂාන් ද සිල්වා මහතා කියා සිටියේ ධනුෂ්කට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව සිය ක්‍රීඩා සමාජය ඔහුට එරෙහිව පනවා තිබූ දේශීය තරග තහනම ඉවත් කිරීමට පියවරගත් බවය. 

“අන්තර් සමාජ එක්දින තරගාවලිය සඳහා අපි ඔහුව ලියාපදිංචි කරලයි තියෙන්නෙ. මේ වෙනකොට ඔහු කණ්ඩායම සමග පුහුණුවීම් ආරම්භ කරලා තියනවා. හෙට (23 වැනිදා) පැවැත්වෙන තරගයේ ඉඳන් පුහුණුකරුට සහ නායකයාට කණ්ඩායම තේරීමේදී ඔහු පිළිබඳව සලකා බලන්න පුළුවන්.” යැයිද අෂාන් මහතා පැවසීය. 


අදහස් (0)

ධනුෂ්ක යළිත් දේශීය තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.