Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අවසන් කිලෝ මීටර 40 පුරා පැවැති තුන් කොන් සටනින් අනතුරුව ‘ටී-කප්’ ජාත්‍යන්තර පාපැදි සවාරියේ පළමු අදියර ජය ගැනීමට ජපානයේ කිනන් පාපැදි කණ්ඩායමේ නකජිමා යසුහරු සමත් විය. කිලෝ මීටර 132 කින් සමන්විත වූ පළමු අදියර නිමා කිරීම සඳහා ඔහුට පැය 2 යි, විනාඩි 47 යි, තත්පර 30 ක කාලයක් ගතවිය.
නැගෙණහිර වෙරළේ පාසිකුඩාවෙන් අද (4 වැනිදා) පෙරවරුවේදී ඇරඹි මෙම තරගයේ පළමු අදියර මහියංගණයේදී අද දහවල් නිමා විය.
කසක්ස්තානයේ විනෝ ඇස්ටානා කණ්ඩායම නියෝජනය කළ ඇස්ටෆියෙව් ස්ටෙෆාන් සහ ජපානයේ යුක්යෝ කණ්ඩායම නියොජනය කළ හිරට්සුකා යොෂිමිට්සු පිළිවෙලින් පළමු අදියරේ දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත්වූහ. ඔවුන් දෙදෙනා නකජිමාට වඩා තත්පර 3 ක් (ස්ටෙෆාන්) සහ තත්පර 12 ක් (යොෂිමිට්සු) පසුපසින් පළමු අදියර නිමා කළහ.
පළමු අදියර සඳහා දෙස් විදෙස් කණ්ඩායම් 13 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 64 ක් සහභාගි වූ අතර පළමු කිලෝ මීටර 30 පමණ නිමා වන තෙක්ම ක්‍රීඩකයෝ එකම පොකුරකට ගමන් කළහ. එහෙත් කිලෝ මීටර 30 නිමාවී මඳ වේලවකින් අනතුරුව විදෙස් ක්‍රීඩකයන් 13 දෙනෙක් එම පොකුරෙන් මිදී වෙනම පොකුරක් ලෙස ඉදිරියට ගමන් කළහ.
ඒ සමගම පළමු පොකුර සහ දෙවැනි පොකුර ලෙස තරගකරුවෝ ප්‍රධාන කොටස් දෙකකට බෙදිණ.
තරගයේ අවසන් කිලෝ මීටර් 40 ආරම්භ වනවාත් සමග පළමු පොකුරේ සිටි ක්‍රීඩකයන් 13 දෙනාගෙන් තිදෙනෙක් පමණක් (තරගයේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගත් ක්‍රීඩකයන් තිදෙනා) එම පොකුරෙන්ද මිදී ඉදිරියට ඇදෙන්නට වූහ. එතැන් පටන් තරගයේ පෙරමුණ හුවමාරු කරගනිමින් ඔවුන් තිදෙනා තරග වැදුණ අතර අවසන් මීටර 100 තුළදී සෙසු ක්‍රීඩකයන් දෙදෙනා පසුකර වේගයෙන් ඉදිරියට ඇදුණ නකජිමා පළමු අදියරේ ජය තමන් සතුකර ගත්තේය.
පළමු අදියරට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිසිවෙකු පළමු පොකුරේ ගමන් කිරීමට අපොහොසත් වූ අතර ඔවුන් සියලු දෙනාම දෙවැනි පොකුරේ පැමිණ තරගය නිමා කළහ. ඔවුන් අතරින් පළමු අදියර නිමා කළ පළමු ශ්‍රී ලංකිකයා බවට පත්වූයේ සංජු දීමන්තය.
ශ්‍රී ලංකාවේ පාපැදි ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන සංජුට පළමු අදියර නිමා කිරීම සඳහා ගතවූ කාලය පැය 2 යි, විනාඩි 51 යි, තත්පර 05 කි. සමස්ත තරග ප්‍රතිඵලය අනුව ඔහු පළමු අදියරේ 29 වැනි ස්ථානයට පත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුළම ක්‍රීඩකයා ලෙස හැඳින්වෙන ජනක හේමන්තද, සංජු සමගම තරගය නිමා කළ අතර ඔහුට හිමිවූයේ පළමු අදියරේ 30 වැනි ස්ථානයයි.
පළමු අදියර ස්ප්‍රින්ට් (තැනිතලා මාර්ගයක වේගවත්ම ක්‍රීඩකයා තෝරා ගැනෙන) අදියර දෙකකින් සමන්විත විය. කඩවතමඩුව ප්‍රදේශයේදී නිමාවට පත්වූ පළමු ස්ප්‍රින්ට් අදියර ජයගැනීමට ලාඕසයේ සී.එන්.එන්. පාපැදි කණ්ඩායම නියෝජනය කළ ග්‍රිෆින් ලෝගන්ද, කළුකැළේ ප්‍රදේශයේදි නිමාවට පත්වූ දෙවැනි ස්ප්‍රින්ට් අදියර ජයගැනීමට කසකස්තානයේ විනෝ ඇස්ටානා කණ්ඩායම නියෝජනය කළ ඇස්ටෆියෙව් ස්ටෙෆාන්ද සමත් වූහ.
තරගයේ වේගවත්ම ක්‍රීඩකයා සඳහා පිරිනැමෙන කොළ පැහැති බැනියම මෙන්ම තරගයේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා සඳහා පිරිනැමෙන කහ පැහැති බැනියමද පළමු අදියර ජයගත් නකජිමා යසුහරුට හිමිවිය. ඒ අනුව හෙට දිනයේදී පැවැත්වෙන දෙවැනි අදියරේදී ඔහු කහ පැහැති බැනියම ඇඳ තරග වැදීමට නියමිතය.
නකජිමාට බැනියම් දෙකම ඇඳ තරග වැදීමට නොහැකි බැවින් හෙට දිනයේදී කොළ පැහැති බැනියම ඇඳ තරගවන්නේ පළමු අදියරේ දෙවැනි වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වූ ඇස්ටෆියෙව් ස්ටෙෆාන්ය.
මෙම පාපැදි සවාරියේ දෙවැනි අදියර හෙට (5 වැනිදා) පෙරවරු 9.05 ට මහියංගනය නගරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව අසලින් ආරම්භ වෙයි. එහිදී තරගකරුවන්ට හසලක, උඩුදුම්බර, හුන්නස්ගිරිය, දිගන සහ තැන්නේතුඹුර හරහා මහනුවර දක්වා කිලෝ මීටර් 90.9 ක දුරක් ගමන් කිරීමට සිදුවේ.
තරග ප්‍රතිඵල
1 නකජිමා යසුහරු - පැය 2:47:30 (කිනන් පාපැදි කණ්ඩායම- ජපානය)
2 ඇස්ටෆියෙව් ස්ටෙෆාන් - පැය 2:47:33 (විනෝ ඇස්ටානා කණ්ඩායම - කසකස්තානය)
3 හිරට්සුකා යොෂිමිට්සු - පැය 2:47:42 (යුක්යෝ කණ්ඩායම - ජපානය)
4 චොයි ඩොන්ගියොක් - පැය 2:50:01 (ගැපියොං කණ්ඩායම - කොරියාව)
5 ග්‍රිෆින් ලෝගන් - පැය 2:50:07 (සී.එන්.එන්. පාපැදි කණ්ඩායම - ලාඕසය)
6 ඇමඩොරි ජූලියන් - පැය 2:50:09 (ආරක්ෂක සේවා කණ්ඩායම - ප්‍රංශය)
7 යෝ යෙවොන්වෝ - පැය 2:50:10 (ගැපියොං කණ්ඩායම - කොරියාව)
8 මැට් අමීන් - පැය 2:50:11 (ටෙරෙන්ගානු කණ්ඩායම - මැලේසියාව)
9 යොෂිඔකා නඕයා - පැය 2:50:11 (යුක්යෝ කණ්ඩායම - ජපානය)
10 කෝටස් තෝමස් - පැය 2:50:11 (මැක්ඩොනල්ස් ඩවුන්අන්ඩර් කණ්ඩායම - ඕස්ටේ්‍රලියාව)
‘ටී-කප්’ ජාත්‍යන්තර පාපැදි සවාරිය - පළමු අදියරේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.